eVTOL මගී ඩ්‍රෝන යානා අද සිට පරීක්ෂණ පියාසැරි අරඹයි

ශ්‍රී ලංකාව රටට නව ගුවන් ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීමේ ආරම්භක පියවරක් සනිටුහන් කරමින් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මගී ඩ්‍රෝන සේවාවක පළමු නිල අත්හදා බැලීම අද (11) කොළඹ වරාය නගරයේදී සිදු කිරීමට නියමිත බව  වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසුවේය.

මෙම අත්හදා බැලීම සඳහා ධාවන පථයක් අවශ්‍ය නොවී මගීන් දෙදෙනෙකු රැගෙන යා හැකි EHang E216 විදුලි සිරස් ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ (eVTOL) ගුවන් යානයක් භාවිතා කරනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

යෝජිත ව්‍යාපෘතිය මුලින් වාණිජ සේවාවක් ලෙස නොව අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වරාය නගර පරිශ්‍රයේ ආසන්න වශයෙන් මාස හයක් පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරනු ඇති බව ද කීවේය.

සිවිල් ගුවන් සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, කොළඹ වරාය නගර කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය සහ ගුවන්තොටුපළ බලධාරීන් ඇතුළු ආයතන කිහිපයක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දායක වන බව කී රුවන් කොඩිතුවක්කු මහතා යෝජිත සේවාව මගින් සංචාරක අංශයේ නව අවස්ථා නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website