රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා නිසි ආයතනික හා ක්‍රියාකාරී සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මැනිය හැකි ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ III වැනි අනු කාරක සභාව හමුවේ පළමු අධියර ලෙස සිය ආයතනික සැලසුම් ඉදිරිපත් කළ ආයතන 41හි සංයුක්ත සහ ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳ ප්‍රගති සමාලෝචන වැඩමුළුව පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය ආයතනවල කාර්යභාරය, මූල්‍ය විනය සහ කාර්යක්ෂමතාව නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා නීත්‍යානුකූල බලතල හා වගකීම් හඳුනාගෙන කටයුතු කිරීම අවශ්‍ය බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, අතීත විගණන ගැටලු පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, ආයතනික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ ඒවා මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගෙන තිබේද යන්න ඇගයීමට ලක් කිරීම වැදගත් බව ද ඔහු අවධාරණය කළේය.
















