දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකාරිය වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව බෙදුණු තීන්දුවක් බැවින් එම අභියාචනය යළි සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ හෙට දින (නොවැ: 11) කැඳවන ලෙස එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) නියම කළේ ය.
පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (10) කැඳවනු ලැබුවේය.
මෙම විනිසුරු මඩුල්ලේ තීන්දුව බෙදුණු තීන්දුවක් වන බැවින් එම අභියාචනා පිළිබඳ පෙත්සම සුදුසු පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන බව විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ අනුව අදාළ අභියාචනය හෙට දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේ ය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමඩගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ ආධාරකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.















