
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.
ඒ සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් ද ආරාධිතයන් ලෙස එක් වූහ.
සිය පක්ෂයේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 1946 වර්ෂයේදී සියලුදෙනා එකතු වී නිදහස් ලංකාවක් ඇති කළා සේ අදත් සියල්ලෝම එකට එකතු වී රටේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කළ සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමට යන මොහොතක, එක්සත් ජාතික පක්ෂය නිදහස ලබා ගැනීමට කටයුතු කළාක් මෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව පැවසුවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළ එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් කරන ලද සේවය අප පක්ෂ භේදයෙන් තොරව අගය කළ යුතු බව පැවසුවේය.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ද නිවේදනයක් නිකුත් කර තිබුණේය.
1946 වසරේ සැප්තැම්බර් 6 වනදා හිටපු අග්‍රමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානයක මහතා ඇතුළු නායකයින් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයට අදට වසර 80ක් සපිරෙයි.














