තිරිඟු පිටි මිල රුපියල් 13කින් වැඩි කරමින්, වතුකරයේ ජීවත් වන ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේ බඩගින්නට පවා වැට බැඳීමට ආණ්ඩුව කටයුතු කළ බවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට චෝදනා කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය, වත්මන් රජය බලයට පත්වූයේ ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙමිනි. එහෙත් අද වන විට එම බලාපොරොත්තු සියල්ල කඩ කර තිබේ. ඊයේ මධ්යම රාත්රියේ සිට තිරිගු පිටි මිල රු 13 කින් වැඩි කරමින්, වතුකරයේ ජීවත් වන ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේ බඩගින්නට පවා වැට බැඳීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. එය ආර්ථික පීඩාවට පත්ව සිටින ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමකි.
33% විදුලි බිල අඩු කරන්නට පැමිණි ආණ්ඩුව අවස්ථා ගණනාවකදී විදුලි බිල වැඩි කළා සේම, බාල ගල්අඟුරු ගෙන ඒම හරහා රුපියල් බිලියන 18ට ආසන්න පාඩුවක් සිදු කර තිබේ. බාල ගල්අඟුරුවල තවත් ප්රතිඵලයක් ලෙස නොරොච්චෝලේ බලාගාරය පවා දැන් අක්රීය වී තිබේ. අඛණ්ඩව විදුලිය ලබාදෙන බවට පුරසාරම් දෙඩූ ආණ්ඩුව දැන් විදුලිය කප්පාදු කිරීම අරඹා තිබේ.
මෙවැනි ගැටලු ගැන අප ප්රශ්ණ කරද්දී ආණ්ඩුව කියන්නේ විපක්ෂය කෑ ගසනවා කියාය. අපට කීමට ඇත්තේ, විපක්ෂය කෑ ගසන්නේ වරදාන වරප්රසාද වෙනුවෙන් නොව ජනතාවගේ ගැටලු ඉදිරිපත් කරමින් ඒවාට විසදුම් ලබාදෙන්නැයි බලකිරීමට බවය.















