ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක (වෛද්ය) ජගත් වික්රමරත්න මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා මේ මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා බෙල්ජියමේ බ්රසල්ස් නුවර සංචාරයක නිරත වූහ.
යුරෝපා සංගමය සහ ශ්රී ලංකාව අතර 12 වැනි අන්තර් පාර්ලිමේන්තු රැස්වීමට (IPM) ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සහ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීම මෙම සංචාරයේ අරමුණ විය.
යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායමේ සභාපති Șerban-Dimitrie Sturdza මහතා සහ ගරු කථානායක (වෛද්ය) ජගත් වික්රමරත්න මහතාගේ සම සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීම ඔක්තෝබර් 15 වැනිදා බ්රසල්ස් නුවරදී සාර්ථකව අවසන් විය.
ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ යුරෝපා සංගමය සඳහා ශ්රී ලංකා තානාපති චන්දන වීරසේන මහතා සහ බ්රසල්ස්හි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු ද ශ්රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.
ශ්රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව පැවති පළමු යුරෝපා සංගමය – ශ්රී ලංකා අන්තර් පාර්ලිමේන්තු රැස්වීම මෙය වීම විශේෂත්වයකි. මෙම රැස්වීම දෙපාර්ශ්වය අතර පාර්ලිමේන්තු සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් වූ අතර, අඛණ්ඩ සංවාදය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම කැපවීම එහිදී යළි තහවුරු කෙරිණි.
මෙහිදී යුරෝපා සංගමය සහ ශ්රී ලංකාව අතර දේශපාලන හා ආර්ථික සබඳතා, ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය, යහපාලනය සහ නීතියේ ආධිපත්යය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම යුක්රේනයේ සහ මැදපෙරදිග තත්ත්වය, ඉන්දු–පැසිෆික් කලාපයේ වර්ධනයන්, සමුද්රීය සහයෝගීතාව, වෙළෙඳාම, ආයෝජන, තිරසර සංවර්ධනය, සම්බන්ධතා වර්ධනය සහ දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
සංගමයේ සම සභාපති Șerban-Dimitrie Sturdza මහතා සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්රීවරු ශ්රී ලංකාව විවිධ අභියෝග හමුවේ පෙන්නුම් කර ඇති ඔරොත්තු දීමේ හැකියාව අගය කළහ. දිත්වා සුළි කුණාටුවේ බලපෑම සහ මැදපෙරදිග නොසන්සුන් තත්ත්වය හේතුවෙන් ඇති වූ බලශක්ති අර්බුදය ඇතුළු අභියෝග මධ්යයේ වුව ද ශ්රී ලංකාව අත්කරගෙන ඇති ධනාත්මක ආර්ථික වර්ධනය පිළිබඳව ද ඔවුහු ප්රශංසාව පළ කළහ.
දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්රී ලංකාවට යුරෝපා සංගමය ලබා දුන් මූල්ය හා මානුෂීය ආධාර පිළිබඳව ගරු කථානායක (වෛද්ය) ජගත් වික්රමරත්න මහතා සිය ස්තුතිය පළ කළේය. හදිසි සහනාධාර සැපයීම, ආපදා තත්ත්වය තක්සේරු කිරීමට සහාය වීම සහ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ලබා දුන් සහාය ද ඒ මහතා අගය කළේය.
එමෙන්ම ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සමඟ ශ්රී ලංකාව කටයුතු කිරීමේදී සහ පැරිස් සමාජය (Paris Club) සමඟ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියේදී යුරෝපා සංගමය ලබා දුන් සහාය ද කථානායකවරයා සිහිපත් කළේය. පවතින භූ දේශපාලනික අභියෝග හමුවේ ශ්රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමතර සහාය ලබා දෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
1995 වසරේදී අත්සන් කරන ලද යුරෝපා සංගමය–ශ්රී ලංකා සහයෝගීතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වයේ සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව පෙන්වා දුන් කථානායකවරයා, එම සබඳතා තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන යාමට කාලය එළඹ ඇති බව අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ ප්රධාන ආර්ථික හවුල්කරුවකු ලෙස යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව දෙපාර්ශ්වයම පිළිගත්හ. ශ්රී ලංකාවේ ප්රධාන අපනයන වෙළෙඳපොළක් සහ සංවර්ධන හවුල්කරුවකු ලෙස යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුව අතර අඛණ්ඩ සම්බන්ධතාව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම සංචාරය අතරතුර යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායම විසින් ශ්රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් නිල රාත්රී භෝජන සංග්රහයක් ද පවත්වන ලදී.
ගරු කථානායක (වෛද්ය) ජගත් වික්රමරත්න මහතා යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති Younous Omarjee මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. යුරෝපා සංගමය සහ ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා, නිතිපතා සාකච්ඡා පැවැත්වීමේ ක්රමවේද සහ ඉදිරියේදී සහයෝගීතාව වර්ධනය කළ හැකි ක්ෂේත්ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායම විසින් කථානායකවරයා ඇතුළු ශ්රී ලංකා නියෝජිත පිරිසට යුරෝපා පාර්ලිමේන්තුවේ සංචාරයක් ද සංවිධානය කරන ලදී. එහිදී පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව සැලසිණි.
කථානායකවරයා බෙල්ජියම් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ද සංචාරය කළ අතර, එහි නියෝජිත මන්ත්රී මණ්ඩලයේ සභාපති Peter De Roover මහතා සහ එම මණ්ඩලයේ මන්ත්රීවරුන් හමු විය.
2024 ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ලබා දුන් ජනවරමෙන් පසු ශ්රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජීය ක්ෂේත්රවල පරිවර්තනයක් ඇති කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ, රටේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්රියාවලිය පිළිබඳව කථානායකවරයා මෙහිදී පැහැදිලි කළේය.
විවිධ අවස්ථාවලදී ශ්රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව බෙල්ජියම් රජයට ස්තුතිය පළ කළ කථානායකවරයා, ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සංචාරයක් සඳහා බෙල්ජියම් නියෝජිත පිරිසකට ශ්රී ලංකාවට පැමිණෙන ලෙස ද ආරාධනා කළේය. 2028 වසරේදී දෙරට අතර රාජ්යතාන්ත්රික සබඳතාවලට වසර 75ක් සපිරීමට නියමිත බැවින්, එවැනි සංචාරයක් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
බෙල්ජියමේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්ය මදූසංක ජයසිංහ මහතා, වාණිජ අමාත්ය තවිෂ්යා මුල්ලේගමගොඩ මහත්මිය සහ අමාත්ය දිලිනි ලෙනගල මහත්මිය ද යුරෝපා සංගමය–ශ්රී ලංකා 12 වැනි අන්තර් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වූ ශ්රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.














