ඤාණසාර හිමියන්ට සහාය පළ කළ සාම පාගමන ආණ්ඩුව විරෝධී ව්‍යාපාරයක් නොවේ – මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමි

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට සහාය පළ කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කළ සාම පාගමනේ අරමුණ රජය පෙරළා දැමීම නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ අවධාරණය කළහ.

අද (20) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අනු නාහිමියෝ පැවසුවේ ඤාණසාර හිමියෝ ජාතිවාදී දේශපාලනයක නිරත නොවූ බවයි.

“ උන් වහන්සේ උත්සාහා කළේ රට තුළ ආගමික හා වාර්ගික බෙදීම් පවතින බව පෙන්වීමටයි. ඤාණසාර හිමියන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන තරුණ බෞද්ධ භික්ෂූන්ගේ ක්‍රියාකාරකම් දේශපාලන ව්‍යාපාරයක් බවට කරන චෝදනාව අපි තරයේ ප්‍රත්ක්ෂේප කරනවා. උන් වහන්සේලා සිවුර සහ බුද්ධාගම ආරක්ෂා කිරීමට මේ පා ගමනට එක් වුණා පමණයි. යම් කාරණයක් සම්බන්ධයෙන් රජය සමඟ එකඟ නොවීම ප්‍රකාශ කිරීම රජයටම විරුද්ධ වීමක් ලෙස ස්වයංක්‍රීයව අර්ථකථනය නොකළ යුතුයි” රාහුල හිමියෝ පැවසූහ.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සාමකාමීව සහ තාර්කිකව තම අදහස් ප්‍රකාශ කිරීමට හැකි විය යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

“ඤාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කළ ආකාරය අපට කිසිසේත් පිළිගත නොහැකියි. එම ක්‍රියාවලිය නිසි ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු කළ යුතුව තිබුණා” අනු නා හිමියෝ පැවසූහ.

මෙම ගැටලුව විසඳන තුරු මෙම උද්ඝෝෂණය අඛණ්ඩව සිදුකරන බව ද පකොටපිටියේ රාහුල හිමියෝ අවධාරණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website