තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල ඉහළ නංවා ඇති බවට මාධ්ය මගින් වාර්තා වී තිබුණ ද එවැනි මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් අදාළ නිෂ්පාදක සමාගම් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ පූර්ව සාකච්ඡාවක් පවත්වා හෝ ඒ පිළිබඳව දැනුම්දීමක් සිදුකර නොමැති බව එම අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 18 වන වගන්තිය යටතේ තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම්කර ඇති අතර, එවැනි භාණ්ඩයක මිල ඉහළ දැමීමේදී අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගැනීම අවශ්ය වේ.
තිරිඟු පිටි මිල ඉහළ දැමීමට හේතු සහ අදාළ මිල සංශෝධනය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස නිෂ්පාදක සමාගම් වෙත මේ වන විටත් දැනුම්දී ඇත.
තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා වෙළෙඳපොළ පරීක්ෂා කිරීම් හා වැටලීම් ආරම්භ කර ඇත.
අදාළ නීති උල්ලංඝනය කරමින් තිරිඟු පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව මෙන්ම, විමර්ශනවලදී නීති උල්ලංඝනය කිරීම් අනාවරණය වන නිෂ්පාදක හා බෙදාහැරීමේ ආයතනවලට එරෙහිවද නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කෙරේ.
නිෂ්පාදක සමාගම් විසින් ලබාදෙන පැහැදිලි කිරීම් සහ විමර්ශනවලින් අනාවරණය වන කරුණු සලකා බලා අවශ්ය ඉදිරි ක්රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.








