රුමේනියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය

ශ්‍රී ලංකා–රුමේනියා හයවන දේශපාලන උපදේශන වටය බුකාරෙස්ට්හිදී

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර හයවන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය බුකාරෙස්ට්හිදී පැවැත්වුණු අතර, එහිදී වෙළෙඳ කටයුතු, ආයෝජන අවස්ථා, විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා මෙම සාකච්ඡා වටය මෙහෙයවන ලද අතර, රුමේනියාවේ උපායමාර්ගික හා ගෝලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ගරු ඇනා-ක්‍රිස්ටිනා ටින්කා (H.E. Ms Ana-Cristina Tinca )මහත්මිය සමඟ ඒකාබද්ධව එතුමා මෙම උපදේශන වටයේ සම සභාපතිත්වය දැරීය.

රුමේනියාවේ පදිංචිව සිටින සහ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් 26,000කට ආසන්න පිරිසකගේ සුබසාධනය සහ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡාවලදී විශේෂ අවධානයක් යොමු විය. විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්තිමය හා ආයතනික කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත් අතර, අදාළ ක්‍රියාමාර්ග ඉදිරියේදී පවතින නීතිමය හා පරිපාලන රාමු අනුව තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ විය. එමෙන්ම, ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

මීට අමතරව, වෙළෙඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම, කොළඹ සහ කොන්ස්ටන්සා වරායන් අතර සමුද්‍රීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ ආර්ථික හවුල්කාරිත්වය වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

2027 වසරේදී ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරීමට දෙරට සූදානම් වන පසුබිමක, දිගුකාලීන මිත්‍රත්වය දෙරටට සහ ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ සැලසෙන ඵලදායී සහයෝගීතාවක් බවට පරිවර්තනය කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය යළි අවධාරණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website