ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති රුපියල් බිලියන 71.7ක සහන පැකේජය යටතේ විවිධ අංශ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සහ එම මුදල් භාවිත කරන ආකාරය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.
ඒ එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්ම මහත්මීන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීහු සහභාගි වූහ. එසේම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, තිලිණ සමරකෝන් සහ විරේසිරි බස්නායක යන මහත්වරු මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම කාරක සභාවට සම්බන්ධ වූහ.
රුපියල් බිලියන 71.7 ක සහන පැකේජය යටතේ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් එනම් රුපියල් බිලියන 52.8 ක් ඛනිජ තෙල් අංශය සඳහා වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය විය. ඉන්ධන සමාගම්වල ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවියේදී ඇතිවිය හැකි පාඩු සහ ඒ හේතුවෙන් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම සහනය ලබා දුන් බව නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
රුපියල් බිලියන 71.7 ක මුදල ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන අතර ඒ 2026 මැයි සහ ජූනි මාසවලදී ලබා දෙන ලද ඉන්ධන සහනාධාර ඇතුළු සහන සඳහා වන ගෙවීම් පියවීම පිණිස නැවත වෙන් කරන ලද රුපියල් බිලියන 52.8 ක මුදල සහ අප්‍රේල් මාසයේ ඉන්ධන සහනාධාරය (සිපෙට්කෝ සහ අනෙකුත් ඉන්ධන සැපයුම්කරුවන් සඳහා), කුඩා තේ වතු හිමියන්ගේ පොහොර සහනාධාරය සහ ධීවර සහනාධාර සඳහා ලබා ගැනීම හේතුවෙන් අඩුවී තිබූ වාර්ෂික අයවැය සංචිතය නැවත පූරණය කිරීම පිණිස නැවත වෙන් කරන ලද රුපියල් බිලියන 18.9 ක මුදල වේ.
2026 ජූනි 11 වන දින මෙම කාරක සභාව විසින් සමාලෝචනය කරන ලද රුපියල් බිලියන 20 ක අතිරේක ඇස්තමේන්තුව මෙන්ම, මෙම ඉල්ලීම මගින් ද 2026 වසරේ වියදම් සීමාව හෝ ණය ගැනීමේ සීමාව හෝ ඉහළ නොයන බව ද මෙහිදී අනාවරණය විය. මෙය පවතින වෙන් කිරීම් නැවත ප්‍රති-වෙන්කිරීමක් (reallocation) පමණි.
සමස්ත රුපියල් බිලියන 71.7 ක මුදලම පියවනු ලබන්නේ ‘දිට්වා’ (Cyclone Ditwah) වෙනුවෙන් වෙන් කරන ලද 2026 අංක 01 දරන රුපියල් බිලියන 500 ක අතිරේක ඇස්තමේන්තුවෙන් භාවිත නොකළ ශේෂයන් ලබා ගැනීමෙනි. (2026 ජූනි 30 වන විට ඉන් නිකුත් කර තිබුණේ රුපියල් බිලියන 243.9 ක් පමණි).
ඒ අනුව මෙම සහනය ඉන්ධන සමාගම් සඳහා ලබාදෙන සහනාධාරයකට වඩා පාරිභෝගික සහනාධාරයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය පැවති තත්ත්වය මත ලබා දුන් තාවකාලික සහනයක් පමණක් බවත් මෙහිදී පැහැදිලි කෙරිණි.
2026 අප්‍රේල් මාසය සඳහා පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන සැපයුම්කරුවන් සඳහා රුපියල් මිලියන 20,507ක පමණ සහනාධාරයක් ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය විය. එම මුදලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා රුපියල් මිලියන 15000ක් ද , ලංකා IOC සමාගම සඳහා රුපියල් මිලියන 2,340ක් ද, සයිනොපෙක් සමාගම සඳහා රුපියල් මිලියන 1,501ක් ද, RM Parks සමාගම සඳහා රුපියල් මිලියන 1,666ක් ද ගෙවා ඇති බව සඳහන් විය.
එමෙන්ම, රුපියල් බිලියන 71.7ක සමස්ත සහන පැකේජය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය සඳහා රුපියල් බිලියන 15ක්, අස්වැසුම වැඩසටහන සඳහා රුපියල් බිලියන 8.2ක් ද, යළ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් බිලියන 3ක්, කුඩා වැවිලි කරුවන් සඳහා රුපියල් බිලියන 2.2ක් ද සහ ධීවර කර්මාන්තය සඳහා රුපියල් බිලියන 1.2ක් ද වෙන් කර ඇති බව කාරක සභාවේදී සාකච්ඡා විය.
ඒවගේම, දිට්වා හේතුවෙන් සිදු වූ හානියෙන් පසු එහි ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව මාර්ග සංවර්ධනය අධිකාරිය විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. හානියට පත් වූ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියානු සහ චීන රජයන් විසින් ආධාර ලබා දෙන බව මෙහිදී එම නිලධාරීහු පවසා සිටියහ. තවද, මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන පිවිසුම්වල වැඩකටයුතු 2028 වසර අවසානය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති බව ද එහිදී ප්‍රකාශ විය. අධිවේගී මාර්ගවල විදුලි සැපයුම සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බවත්, ඉදිරි මාස තුන ඇතුළත එම කටයුතු ආරම්භ කිරීමට හැකි වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිලධාරීහු පැවසුහ.
තවද,’එල්නිනෝ’ තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා වූ අතර, මෙවැනි දේශගුණික විපර්යාසයන් ඉදිරියේදී ද ඇති විය හැකි බැවින්, ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා ‘ආපදා කළමනාකරණ ව්‍යවස්ථාපිත අරමුදල’ බලගැන්වීමේ වැදගත්කම කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.
තවද, විගණකාධිපතිතුමියගේ වැටුප් නිර්ණය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහය හා අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වූ අතර, ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සඳහා ඉදිරි දිනයකදී නැවත සාකච්ඡා කිරීමට කාරක සභාව තීරණය කළේය.















