කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන සැප්තැම්බර් 16 සිට 18 වනදා දක්වා පැවැත්වෙන 5 වැනි වාර්ෂික අග්නිදිග ආසියානු අපනයන පාලන සමුළුවට (SEAFEC) සහභාගී වීම සඳහා මේ වන විට ඉන්දුනීසියානු ජනරජයේ සංචාරයක නිරතව සිටී.
ඉන්දුනීසියානු උපායමාර්ගික වෙළෙඳ කළමනාකරණ සමුළුව (IDSTM 2026) යටතේ මෙම සමුළුව ඉන්දුනීසියානු ජනරජය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව සංවිධානය කරනු ලබයි.
සමුළුවේ සමාරම්භක උත්සවයට අමාත්‍ය අනිල් ජයන්ත මහතා සැප්තැම්බර් 16 වැනිදා සහභාගී විය. උපායමාර්ගික වෙළෙඳ කළමනාකරණය (STM) සම්බන්ධයෙන් කලාපීය සංවාදයක් සඳහා වේදිකාවක් සපයන මෙම සමුළුවේදී, අර්ධ සන්නායක නිෂ්පාදනය සහ සැපයුම් දාම ආරක්ෂාව, ද්විත්ව භාවිත භාණ්ඩ, කෘත්‍රිම බුද්ධිය සහ නැගී එන තාක්ෂණයන්ගෙන් මතුවන තර්ජන මෙන්ම තීරණාත්මක ඛනිජ හා දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍යවල සැපයුම් දාම ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කර ඇත.
සමුළුවට සමගාමීව අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඉන්දුනීසියාවේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බුඩි සන්තෝසෝ (Dr. Budi Santoso) මහතා ද හමුවිය. එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඇතුළු දෙරටටම වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
මෙම හමුව සඳහා ඉන්දුනීසියාව සහ ආසියාන්(ASEAN) කලාපය සඳහා ශ්‍රී ලංකා තානාපතිනි ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා ආනයන හා අපනයන පාලක ජනරාල් ටී. ටී. උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සහ ජකර්තාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශිකා නිලන්ති කේ. පැලවත්තගේ මහත්මිය ද සහභාගී වූහ.














