ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ජපානයේ ටෝකියෝ නුවරදී සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින පැවැත්වෙන ආසියානු රටවල් සඳහා වන 15 වැනි IMF–ජපාන ඉහළ පෙළේ බදු සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත් වෙයි.
ආසියානු කලාපයේ බදු ප්‍රතිපත්ති සහ බදු පරිපාලනය සම්බන්ධ ප්‍රධාන කරුණු පිළිබඳ අවධානය යොමු කෙරේ. මෙම සමුළුව සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්, ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් සහ ජාත්‍යන්තර විශේෂඥයන් සහභාගී වේ. දේශීය ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම, බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර බදුකරණය සම්බන්ධයෙන් මතුවෙමින් පවතින අභියෝග පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ.
රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය සහ සියලු දෙනා ඇතුළත්(inclusive) ආර්ථික වර්ධනය සඳහා දේශීය ආදායම් රැස් කිරීමේ වැදගත්කම සමුළුවේ අවධානයට ලක්වන ප්‍රධාන කරුණක් වේ. බදුකරණ ධාරිතාව, කාර්යක්ෂමතාව, සාධාරණත්වය සහ කලාපයේ රටවල ක්‍රියාත්මක වෙමින් පවතින බදු ප්‍රතිසංස්කරණ පිළිබඳවද මෙම සමුළුවේදී සාකච්ඡා කෙරේ. දේශීය ආදායම් රැස් කිරීමේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම සහ බදු ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී අත්දැකීම් බෙදා ගැනීමට නියමිතය.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ සහභාගිත්වය තුළින් ශ්‍රී ලංකාවට කලාපීය පාර්ශ්වකරුවන් සහ ජාත්‍යන්තර ආයතන සමඟ සෘජුවම සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන අතර රටේ ආදායම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට වැදගත් බදු ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව උදාවේ.














