ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක බණ්ඩාරගම සහ මතුගම ශාඛා දෙකට රුපියල් ලක්ෂ 4ක දඩයක්

පාරිභෝගික ආරක්ෂාව සඳහා පනවා ඇති නීති හා විධාන උල්ලංඝනය කරමින් සටහන් කළ මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කිරීම, භාණ්ඩවල සටහන් කර තිබූ මුල් මිල ඉවත් කර වෙනස් කිරීම සහ කල් ඉකුත් වූ සිසිල් බීම අලෙවිය සඳහා තබා තිබීම සම්බන්ධයෙන් J.K. Marketing Services (Pvt) Ltd ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන කීල්ස් සුපර් ශාඛා දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන වෙනම නඩු පවරන ලදී.

බණ්ඩාරගම, පානදුර පාරේ පිහිටි කීල්ස් සුපර් ශාඛාව 2026 අගෝස්තු 31 දින පරීක්ෂා කිරීමේදී, බිත්තර 10ක් අඩංගු ඇසුරුමක උපරිම සිල්ලර මිල රු.590/- ලෙස පැහැදිලිව සටහන් කර තිබියදී එම ඇසුරුම රු.615/- කට අලෙවි කර ඇති බවත්, කල් ඉකුත් වූ සිසිල් බීම අලෙවිය සඳහා තබා තිබූ බවත් අනාවරණය විය. මෙම නඩුව 2026 සැප්තැම්බර් 03 දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සමාගම අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව රු.200,000/- ක දඩයක් නියම කරන ලදී.

මතුගම කීල්ස් සුපර් ශාඛාව 2026 අගෝස්තු 21 දින පරීක්ෂා කිරීමේදී, සටහන් කර තිබූ මුල් මිල ඉවත් කර මිල වෙනස් කරන ලද ග්‍රෑම් 100 Sweet Potato Chips ඇසුරුම් 05ක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබීම අනාවරණය විය. විධාන අංක 85 සහ පනතේ 10(4) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පවරන ලද මෙම නඩුව 2026 සැප්තැම්බර් 14 දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව රු.200,000/- ක දඩයක් නියම කරන ලදී.

ඒ අනුව, 2026 සැප්තැම්බර් 03 සහ 2026 සැප්තැම්බර් 14 යන වෙන වෙනම දිනවලදී අවසන් වූ නඩු දෙකෙන් එක් නඩුවකට රු.200,000/- බැගින්, අදාළ ශාඛා දෙක සම්බන්ධයෙන් නියම වූ දඩ මුදල්වල එකතුව රු.400,000/- කි.

පාරිභෝගිකයින්ට වැදගත් දැනුම්දීමක්: සුපිරි වෙළෙඳසැලකින් හෝ වෙනත් වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඇසුරුමේ සඳහන් මිල පරීක්ෂා කර එය බිල්පතේ අය කර ඇති මිල සමඟ සසඳන්න. මුල් මිල මකා තිබේද, වෙනස් කර තිබේද හෝ වෙනත් මිලක් යොදා තිබේද යන්න පිළිබඳව විමසිලිමත් වන්න. ආහාර හා පාන වර්ග මිලදී ගැනීමේදී කල් ඉකුත්වීමේ දිනයද අනිවාර්යයෙන් පරීක්ෂා කරන්න. භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු බිල්පත ලබාගෙන එහි සඳහන් මිල ගණන්ද පරීක්ෂා කරන්න.

මෙවැනි වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ද එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website