මහජනතාවට සෘජුවම පොලිස්පති ඇමතිය හැකි ‘පොලිස්පතිට කියන්න – Tell IGP’ සේවාව ඇරඹෙයි

ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී දැනට ක්‍රියාත්මකව පවතින “පොලිස්පතිට කියන්න” (Tell IGP) ව්‍යාපෘතිය මඟින් මහජනතාව වෙත සෘජුවම යම් සිදුවීමක් සම්බන්ධව හෝ පැමිණිල්ලක් පොලිස්පතිතුමන් වෙත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා ඇති අතර, 2026 වර්ෂයේදී මෙම වැඩසටහන ප්‍රතිව්‍යුහගත කරමින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම සේවාවේදී දේශීය මෙන්ම විදේශීය ඕනෑම පුද්ගලයෙකුට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අතර, එය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේද සිදු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇත.

මෙම පැමිණිලි සේවාව මඟින් මහජනතාවට දේශීයව හෝ විදේශීයව සිට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන තැනැත්තන් පිළිබඳව තොරතුරු මෙන්ම අපරාධ, විවිධ පැමිණිලි, රථවාහන වැරදි, මහජන පීඩා හා දූෂණ පිළිබඳ තොරතුරු සම්බන්ධව පොලිස්පතිතුමන් වෙත සෘජුවම දැනුවත් කිරීමේ හැකියාව පවතී. මෙහිදී ලැබෙන පැමිණිලිවලට ගතයුතු ක්‍රියාමාර්ග හා ඊට අදාළ විමර්ශන, කොට්ඨාස භාර නිලධාරීන් මඟින් නියමිත පොලිස් ස්ථානය වෙත දැනුම් දී කඩිනමින් ඒ සඳහා විමර්ශන නිලධාරීන් යොමු කිරීමට කටයුතු කරනු ලබයි. ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලට යුක්ති සහගත සාධාරණයක් ඉටු නොවන්නේ නම්, නැවත ඉහත ක්‍රමවේදය ඔස්සේම පොලිස්පතිතුමා වෙත දැනුවත් කිරීමේ හැකියාවද මෙම ක්‍රමවේදය මඟින් සලසා දී ඇත.

මහජනතාවට මෙම සේවාව ලබා ගැනීම සඳහා www.police.lk පොලිස් වෙබ් අඩවියට පිවිස එහි ස්ථාපිත ඊ සේවාව (E Service) වෙත පිවිස “පොලිස්පතිට කියන්න” (Tell Inspector General Of Police) https://telligp.police.lk වෙබ් යොමුව ඔස්සේ සහ telligp@police.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ පැමිණිලි හෝ තොරතුරු මෙම සේවාව වෙත යොමු කළ හැක. මහජනතාව සඳහා වඩාත් ඵලදායී සේවාවක් සැපයීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය තවදුරටත් දිවයින පුරා ව්‍යාප්ත කරමින් ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 48 හිම පරිගණක ක්‍රියාකරුවන් පුහුණු කර ක්‍රියාත්මක කර ඇති අතර, මෙය පොලිස්පතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website