ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව සංවිධානය කෙරුණු දැනුවත් කිරීමේ පාගමන

මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය ජූනි මස 26 වන අද දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් 2025.10.30 වන දින දියත්කළ, මාස 08 ක් පුරා සාර්ථකව ක්‍රියාත්මකවන රටම එකට “ඉවත්වෙනු” මත්ද්‍රව්‍ය නිවාරන ජාතික වැඩසටහනට සමගාමීව 2026.06.26 වන අද දිනයේ දිවයින පුරා පොලිස් ස්ථාන හා මත්ද්‍රව්‍ය සම්බන්ධව විෂයානුබද්ධ රාජ්‍ය ආයතන කේන්ද්‍රකරගනිමින් සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියත්මක වේ.

එම වැඩසටහන් අතරින් ප්‍රධාන වැඩසටහන වූ මහජන ආරක්ෂක අමාත්‍යංශය සංවිධානය කළ කොළඹ වරාය නගරයේ සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන්කළ දැනුවත් කිරීමේ පාගමන 2026.06.26 වන දින උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශය, අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, පුනුරුත්තාපන කාර්යංශය, ජාතික තරුණ සේවා සභාව ඇතුළු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංවිධාන හා ආයතන රැසක සංවිධානයෙන් සාර්ථකව පැවැත්වුනි.

“මතින් තොර දේශයක් කරා අභිමානවත්ව පිය නගමු” යන ආදර්ශ පාඨය පෙරදැරිව දැනුවත් කිරීමේ පුවරු, පාඨ රැගත් පොලිස් නිලධාරීන්, තරුණ තරුණියන් දහසකට අධික සංඛ්‍යාවක් පාගමන සඳහා සහභාගී වී සිටි අතර මාර්ගයේ ගමන්ගත් ජනතාවට අත්පත්‍රිකා බෙදා දෙමින් මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා අවශ්‍ය සහය පිළිබඳව දැනුවත්කරන ලදී.

1818 ක්ෂණික දුරකථන අංකය, පුනුරුත්තාපන කාර්යංශය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එහිදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කෙරුණි.

පාගමන සඳහා ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය සරෝජා පෝල්රාජ් මැතිතුමිය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය, මහජන ආරක්ෂක අමාතයංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා හා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත විරසූරිය මහතා ප්‍රධානත්වය ගෙන සහභාගී විය.

පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ, නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ හා තරුණ සේවා සභාවේ නර්තන හා සංස්කෘතික කණ්ඩායම් පාගමනට එක්වෙමින් මහජන අවධානය ලබාගැනීමට අවශ්‍ය ආකර්ශනීය බව ලබාදීමට දායක විය.

පාගමන සංවිධානය කිරීමේදී මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහා ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව සුවිශේෂී දායකත්වයක් සැපයූ අතර පොලිස් රථවාහන මූලස්ථානය හා කොළඹ අවට පොලිස් කොට්ඨාස රැසක නිලධාරීන් පාගමනේ ආරක්ෂව සම්බන්ධයෙන් කටයුතු කරන ලදී.

* ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප මෙරට තුළ බලාපොරොත්තුවන විධිමත් ආර්ථික හා සමාජීය දියුණුව අර්ථවත්කරගැනීම සඳහා මත්ද්‍රව්‍යවලින් තොර සමාජ වටපිටාවක් නිර්මාණය කරගැනීම අනිවාර්ය කරුණකි. මේ සඳහා ජාති ආගම් වෙනසකින් තොරව සෑම වයස් කාණ්ඩයක්ම එක ලෙස කැපවෙමින් ශ්‍රී ලංකා පොලිසියට තොරතුරු ලබාදීමෙන් සහය වන්න. මත්ද්‍රව්‍ය සැපයුම තුරන් කිරීමට මෙන්ම ඉල්ලුම අඩාල කිරීමට පොලිසිය ඇතුලු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් රටම එකට “ඉවත්වෙනු” මත්ද්‍රව්‍ය නිවාරන ජාතික වැඩසටහන හා සබැඳිව ගෙනයන වැඩපිළිවෙලෙහි සාඩම්බර කොටස්කරුවෙකු වන්න. *

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website