රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්

ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනය සඳහා ලබාදීමේ දෙවන අදියර මේ වනවිට ආරම්භ කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 අයවැය ප්‍රකාශය මඟින් ඉදිරිපත් කළ, ඌන උපයෝජිත ඉඩම් හඳුනාගෙන ඒවා වඩාත් ඵලදායී ලෙස උපයෝජනය කිරීමේ ප්‍රතිපත්තියට අනුවය.

ඒ අනුව අමාත්‍යාංශය යටතේ පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම සතු ඌන උපයෝජිත ඉඩම් හා දේපළ ප්‍රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම ආයෝජන අවස්ථා සඳහා සුදුසුකම් ලත් දේශීය සහ විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ (EOI) මේ වනවිට කැඳවා ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම්, තේ කර්මාන්තශාලා සහ බංගලා සඳහා ආයෝජන අවස්ථා හිමිවනු ඇත.

ආයෝජන ඉඩම් ප්‍රමාණයන් කාණ්ඩ 5ක් යටතේ වර්ගීකරණය කර තිබේ.

1 වන කාණ්ඩය (හෙක්ටයාර 100ට වැඩි): කෘෂි සංචාරක කර්මාන්තය (Agricultural Tourism) සහ කුළුබඩු වගාවන් සඳහා වසර 30ක උපරිම බදු කාලසීමාවකට යටත්ව හගල, මිඩ්ලන්ඩ්, ඕපල්ගල සහ වුඩ්සයිඩ් වැනි විශාල වතු ඉඩම් ලබාදීමට නියමිතය.

2 වන කාණ්ඩය (හෙක්ටයාර 50 සිට 100 දක්වා): කෘෂි සංචාරක ව්‍යාපෘති සඳහා සුදුසු ගල්පිහිල්ල, කැල්ලබොක්ක, කොටගඟ, ගෝමර සහ හරේ පාර්ක් වැනි වතු කොටස් වසර 30ක බදු කාලයකට ලබාදෙනු ඇත.

3 වන කාණ්ඩය (හෙක්ටයාර 20 සිට 50 දක්වා): රත්වත්ත, විහාරගල සහ හන්තාන වැනි ප්‍රදේශවල පිහිටි වැවිලි ක්ෂේත්‍ර, සූර්ය පැනල බලශක්ති සහ සංචාරක ව්‍යාපෘති සඳහා සුදුසු ඉඩම් වසර 20 සිට 30 දක්වා කාලයකට ලබාදීමට නියමිතය.

4 වන කාණ්ඩය (හෙක්ටයාර 20ට අඩු): දෙල්තොට, ගලබොඩ, හන්තාන, කඳල්ඔය, ලෙවල්ස්, රොක්වුඩ්, රහතුංගොඩ සහ කොළපතන වැනි ප්‍රදේශවල පිහිටි සංචාරක හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා සුදුසු කුඩා ඉඩම් කොටස් විශාල ප්‍රමාණයක් මෙයට ඇතුළත් වේ.

5 වන කාණ්ඩය (බංගලා සහ කර්මාන්තශාලා): දැනට පවතින තේ කර්මාන්තශාලා වන කොටගඟ, හුන්නස්ගිරි, වුඩ්සයිඩ්, දංකන්ද, කඳල්ඔය, ගලබොඩ සහ රොඩ් ආදී කර්මාන්තශාලා මෙන්ම බංගලා සහ නිල නිවාස සංචාරක කර්මාන්තය හෝ නිෂ්පාදන කටයුතු සඳහා වසර 20 සිට 30 දක්වා කාලයකට බදු දීමට නියමිතය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන සාමාන්‍ය පුද්ගලයින්ට හෝ ශ්‍රී ලංකාවේ පවතින ලිඛිත නීතියක් යටතේ ස්ථාපිත කර ඇති නීතිමය ආයතනවලට අයදුම් කළ හැකිය.

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය:

2026 ජූනි 30 වන දින පෙ.ව. 11.00ට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව භාරදිය යුතුය.

ලිපිනය:

සභාපති, ඉහළ ප්‍රසම්පාදන කමිටුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, 8 වන මහල, A පර්යන්තය, සෙත්සිරිපාය II අදියර, බත්තරමුල්ල.

වැඩි විස්තර සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.plantation.gov.lk වෙත පිවිස ඉඩම් ලැයිස්තුව, සුදුසුකම් සහ ඇගයීම් නිර්ණායක ලබාගත හැකිය.

දුරකථන: 011 218 6223

විද්‍යුත් තැපෑල: mpeiunderutilizedland@gmail.com

අදාළ ඉඩම් සහ දේපළ නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලබාදෙන අතර, අනවසරයෙන් පිටස්තර පාර්ශවයන්ට ඇතුළුවීමට අවසර නොලැබෙන බවත්, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website