ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2026 අගෝස්තු: නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2026 අගෝස්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 53.0ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුව ද, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් මෙමගින් පෙන්නුම් කරයි. නිෂ්පාදන උප දර්ශකය හැර අනෙකුත් සියලුම උප දර්ශක අගයන් අගෝස්තු මාසය තුළ දී කඩඉම් මට්ටමට වඩා ඉහළින් පැවතුණි. 

අගෝස්තු මාසයේ දී නව ඇණවුම් උප දර්ශකය කඩඉම් මට්ටමේ ම පැවති අතර, එමගින් නව ව්‍යාපාරික ක්‍රියාකාරකම් බොහෝ දුරට නොවෙනස්ව පවතින බව පෙන්නුම් කරයි. මේ අතර, නිෂ්පාදන උප දර්ශකයේ මන්දගාමී වීමට, රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශය ප්‍රධාන වශයෙන් හේතු විය. වසර අවසාන උත්සව සමයේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ සේවක බඳවා ගැනීම් සහ ක්‍රමික තොග රැස් කර ගැනීම් පිළිබිඹු කරමින්, අගෝස්තු මාසයේ දී සේවා නියුක්ති සහ තොග මිලදී ගැනුම් යන උප දර්ශක දෙකම ඉහළ ගියේය. මේ අතර, පවතින සැපයුම් බාධාවන් පිළිබිඹු කරමින්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අගෝස්තු මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය.

කාලීන අභියෝග හමුවේ යම් තරමකට මන්දගාමී වුවද, වසර අවසාන උත්සව සමය හේතුවෙන් නිෂ්පාදන අංශයේ ඉදිරි අපේක්ෂා තවදුරටත් ධනාත්මක මට්ටමක පවතියි.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වේගවත් වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 65.6ක අගයක් වාර්තා කළේය.

බොහෝ සේවා අංශවල දක්නට ලැබුණු වැඩිදියුණු වීම්වල සහාය ඇතිව, 2026 අගෝස්තු මාසයේ දී සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් වේගයෙන් වර්ධනය විය. ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය, තොග හා සිල්ලර වෙළඳාම, සහ වෘත්තීය සේවා යන උප අංශයන්හි ශක්තිමත් ක්‍රියාකාරිත්වය මෙම ප්‍රසාරණය සඳහා දායක වූ අතර, මූල්‍ය සහ අනෙකුත් පෞද්ගලික සේවා උප අංශ ද සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.

2026 අගෝස්තු මාසයේ දී නව ව්‍යාපාර වර්ධනය වූ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් තොග හා සිල්ලර වෙළඳාම, සහ මූල්‍ය සහ අනෙකුත් පෞද්ගලික සේවා උප අංශයන්හි ඉහළ යෑම් බලපෑවේය. වෘත්තීය සේවා උප අංශය ද මෙම ඉහළ යෑමට ධනාත්මක දායකත්වයක් ලබා දුන්නේය. 

නව සේවක බඳවා ගැනීම්වල සහාය ඇතිව, 2026 අගෝස්තු මාසයේ දී සේවා නියුක්තිය ඉහළ ගියේය. මේ අතර, නිම කිරීමට ඉතිරිව ඇති කාර්යයන් ප්‍රමාණය පෙර මාසයේ වාර්තා වූ ඉහළ යෑම ආපසු හරවමින්, 2026 අගෝස්තු මාසයේ දී පහළ ගියේය.

අපේක්ෂිත ආර්ථික වැඩිදියුණු වීම් සහ සංචාරක පැමිණීම්වල අපේක්ෂිත වර්ධනයේ සහාය ඇතිව, ඉදිරි කාර්තුව සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් 2026 අගෝස්තු මාසයේ දී ධනාත්මකව පැවතුණි. කෙසේ වෙතත්, පුළුල් ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඉදිරි දැක්ම කෙරෙහි අහිතකර අවදානම් තවදුරටත් එල්ල කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website