ඉදිරියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයත් එක්ව දැනට ක්‍රියාත්මක කරමින් තිබෙන QR ක්‍රමය තදින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේය.
මෙම අර්බුදකාරී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනය යම් ලෙසකින් සීමා කිරීමක් සිදු කිරීම මෙහි අරමුණ වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය, “මේ අර්බුදය දිගින් දිගටම යාම තුළ අපට විශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. අපි දැනටමත් QR ක්‍රමය හරහා සහ කෝටා ක්‍රමය හඳුන්වා දීමත් එක්ක ඉන්ධන පරිභෝජනයේ සැලකිය යුතු අඩු කිරීමක් කරන්න අපට අවස්ථාව ලැබුණා. නමුත් තවමත් රටේ අවශ්‍යතාවයේ මට්ටම ඒ අඩුවීම ඇවිත් නැහැ.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් එක්ක විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් එළියට යනවා. මේක සංසදනාත්මකව ලැබුවොත් ජනවාරී මාසයේ ඩොලර් මිලියන 186යි, පෙබරවාරී මාසයේ ඩොලර් මිලියන 97යි, මැයි මාසය වන විට ඩොලර් මිලියන 524ක් ඉන්ධන ආනයනය සඳහා අපි වියදම් කරලා තිබෙනවා.
මේ තත්ත්වය තව දුරටත් දරා ගෙන ඉන්න අමාරුයි. ඒ නිසා අපි රටක් ලෙස කල්පනා කර බැලිය යුතුයි අනිවාර්යයෙන්ම අපේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් ආකාරයක අඩුවීමක් කරලා රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි කටයුතු නොකළොත් ඉදිරියේ දී ඉන්ධන මිල වැඩි වීම සඳහා ඒක බලපෑමක් වෙනවා පමණක් නොවෙයි, ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්.
ඒ නිසා ඉදිරියේ දීත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයත් එක්ව දැනට ක්‍රියාත්මක කරමින් තිබෙන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා ඒ හරහා ඉන්ධන පරිභෝජනය කිරීමේ කිසියම් ආකාරයක අඩුවීමක් කරලා, අපේ ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් ආකාරයකට සමනය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා”.















