මෙනින්ජයිටිස් වසංගතය ගැන වසංගත රෝග විද්‍යා ඒකකයේ අලුත්ම අනාවරණය

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටිස් රෝගයට ගොදුරු වූ බවට සැක කෙරෙන රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අද (01) කොළඹ සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ඇය මේ බව පැවසුවාය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඇය මෙසේ ද පැවසුවාය. “අපේ රටේ මෙනින්ජයිටිස් වර්ග කිහිපයක් තිබෙනවා. බැක්ටීරියා, වෛරස් සහ දිලීරවලිනුත් මේ රෝගය පැතිරෙනවා. මේ තත්ත්වය තුළ අපේ රටේ මෙනින්ජයිටිස් රෝගය දැනුම් දිය යුතු බෝවන රෝගයක්. ඒ වගේම අපේ රටේ වසරක් පසා මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය වාර්තා වෙනවා.

බැක්ටීරියා ආශ්‍රිත මෙනින්ජයිටිස් රෝගයේ ටිකක් බරපතළ තත්ත්වයකට යන්න පුළුවන්. මේ අවස්ථාවේ දී අපි හඳුනා ගත් මෙනින්ජයිටිස් රෝගීන් බහුතරය ‘වෛරස් ගණයේ මෙනින්ජයිටිස් රෝගීන්’ බව හඳුනා ගෙන තිබෙනවා

මුලින්ම, පසුගිය අප්‍රේල් 15 වැනිදා මේ රෝගීන් වාර්තා වුණේ දෙණියාය ප්‍රදේශයේ පාසල්වලින්. උණ, හිසරදය, වමනය වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් අපිට වාර්තා වුණා. ඒ වගේම මෙනින්ජයිටිස් රෝගයට අදාළ රෝග ලක්ෂණත් තිබෙනවා. ඒ සායනික වෛද්‍යවරු ඉතාමත් ඉක්මනින් මේ ගැන කරුණු සොයා බලා අදාළ අංශවලට ඉතාම ඉක්මනින් කරුණු වාර්තා කළා.

ඒ වගේම අපි දැක්කා රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, දියතලාව සහ වැලිමඩ යන රෝහල් වලින් ද සැලකිය යුතු රෝගීන් පිරිසක් වාර්තා වුණා. රෝගීන් අතර බහුතර පාසල් දරුවන් වීම විශේෂත්වයක්. ඒ එක්කම මේ රෝගය නිවැරදිව හඳුනා ගත්තා.

මේ වන විට දිවයින පුරා රෝහල්වලින් සැක සහිත 237ක් වාර්තා වෙලා තිබෙනවා. මේ රෝගීන්ගෙන් 59 දෙනෙකු හැර සෙසු රෝගීන් ප්‍රතිකාර ලබා, සුවවීමෙන් පසුව රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

මේ රෝගය පවතින්නේ දවසක් තුනක් වැනි කාලයක් පමණයි, ඊට පසුව ඉබේම සුව වෙනවා. බැක්ටීරියල් මෙනින්ජයිටිස් වගේ නොවෙයි  වෛරස් මෙනින්ජයිටිස් රෝගීන් අතර බරපතළ රෝග ලක්ෂ වාර්තා වෙන්නේ නැහැ.

මේ වන විට මෙනින්ජයිටිස් වසංගතය විමර්ශනයට සහ කළමනාකරණයට වෙනම කටිමු පත්කරලා තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය මේ වන විට අවශ්‍ය පසු විපරම් කටයුතු කරමින් සිටිනවා“විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website