Lunch Sheets සහ ‘සිලි සිලි’ බෑග් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම්: සාර්ථක වැටලීම් 104ක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් Lunch Sheets සහ “සිලි සිලි” බෑග් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් 104lක් කළ බව එම අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවක සදහන් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද එම වාර්තාව පහත දැක්වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 සැප්තැම්බර් 15 දින, Lunch Sheets සහ LDPE/LLDPE වර්ගයේ “සිලි සිලි” බෑග් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

දිස්ත්‍රික් කාර්යාලවලින් ලැබී ඇති මූලික වාර්තා අනුව, දිස්ත්‍රික්ක 22කින් උල්ලංඝන/සාර්ථක වැටලීම් 104ක් වාර්තා වී ඇත.

Lunch Sheets සම්බන්ධ උල්ලංඝන — 43ක් පමණ

“සිලි සිලි” බෑග් සම්බන්ධ උල්ලංඝන — 58ක් පමණ

වෙනත් පොලිතින් ආශ්‍රිත උල්ලංඝන — 3ක් පමණ

Lunch Sheets

2019.11.29 දිනැති අංක 2151/58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 70 අනුව Food Wrappers/Lunch Sheets සඳහා නියම කර ඇති ලේබල් කිරීමේ අවශ්‍යතා පිළිපැදිය යුතුය.

මෙම විශේෂ වැටලීම්වලදී අදාළ නියමයන්ට අනුකූල නොවන Lunch Sheets තොග දිස්ත්‍රික්ක රැසකින් අනාවරණය කරගෙන, අධිකරණ ක්‍රියාමාර්ග සඳහා නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන ඇත.

“සිලි සිලි” බෑග්

2025.10.01 දිනැති අංක 2456/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 95 අනුව අදාළ LDPE/LLDPE බෑග් පාරිභෝගිකයන්ට නොමිලේ ලබාදිය නොහැක.

එවැනි බෑගයක් පාරිභෝගිකයෙකුට ලබාදෙන්නේ නම්, එහි මිල වෙළෙඳ ස්ථානයේ පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු අතර, බෑගය සඳහා අය කළ මුදල පාරිභෝගිකයාගේ බිල්පතෙහි සඳහන් කළ යුතුය.

මෙම වැටලීම්වලදී අනාවරණය වන භාණ්ඩ සම්බන්ධයෙන් සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් දක්වා සැපයුම් දාමය ඔස්සේ පසු විමර්ශන සිදුකර, අනාවරණය වන කරුණු අනුව අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරයි.

භාරයට ගත් නඩු භාණ්ඩ අදාළ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කෙරෙන අතර, Lunch Sheets සහ “සිලි සිලි” බෑග් සම්බන්ධ වෙළෙඳපොළ පරීක්ෂා හා වැටලීම් දිවයින පුරා අඛණ්ඩව සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website