ශ්‍රී ලංකා රජය, ප්‍රතිපත්ති පාදක ණය ක්‍රමවේදය යටතේ ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහනේ උපවැඩසටහන 2 ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක මූල්‍ය පහසුකමක් ලබාගැනීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සාකච්ඡා පැවැත්වීය. මෙම වැඩසටහන මඟින් ජල සුරක්ෂිතතාව, දේශගුණික ප්‍රතිරෝධීතාව, පරිසර තිරසාරභාවය, සේවා ගුණාත්මකභාවය සහ ජල අංශයේ මූල්‍යමය ශක්තිමත්භාවය වැඩිදියුණු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය දක්වයි.
මෙම වැඩසටහන මගින් ජල සම්පත් කළමනාකරණය, මෙහෙයුම් හා මූල්‍ය අකාර්යක්ෂමතා, දේශගුණික අවදානම්, සමාජයේ සියළු කණ්ඩායම් සමානව ඇතුළත් නොවීමෙන් ඇතිවන පරතරයන් සහ පාර්ශවකරුවන් අතර පවතින ඛණ්ඩිත සම්බන්ධීකරණය ඇතුළු අංශයේ ප්‍රධාන අභියෝගයන්ට විසඳුම් සැපයීමට අපේක්ෂා කෙරේ. උපවැඩසටහන 2 යටතේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිසංස්කරණ මගින් ජල සම්පත් පාලනය ශක්තිමත් කිරීම, පානීය ජල සුරක්ෂිතතාව, අපජල හා සනීපාරක්ෂක කළමනාකරණය ශක්තිමත් කිරීම, ජල සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම, බදු ප්‍රතිපත්ති සහ මූල්‍ය තිරසාරභාවය වැඩිදියුණු කිරීම, පෞද්ගලික අංශයේ සහභාගීත්වය මෙන්ම දේශගුණික මූල්‍ය ප්‍රභවයන් ශක්තිමත් කිරීම අරමුණු කර ඇත.
ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන ශ්‍රී ලංකාවේ ජල ක්ෂේත්රය සඳහා ක්‍රියාත්මක වන ප්‍රථම වැඩසටහන්ගත ප්‍රතිපත්ති පාදක ණය පහසුකම වේ. මෙම වැඩසටහන උපවැඩසටහන් දෙකකින් සමන්විත වේ. ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක මූල්‍යකරණයක් සහිත උපවැඩසටහන 1 මගින් ජල පාලනය, දේශගුණික ප්‍රතිරෝධීතාව, සේවා සැපයුම සහ මූල්‍ය තිරසාරභාවය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය, නියාමන සහ ආයතනික පදනම් ස්ථාපිත කළ අතර, එය 2024 වර්ෂයේ දී සාර්ථකව නිම කරන ලදී. ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක මූල්‍යකරණයක් සහිත උපවැඩසටහන 2 හරහා, එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ ආංශික ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කිරීම මඟින් තිරසාර, දේශගුණිකව ඔරොත්තු දෙන සහ සියලුදෙනාට ප්රතිලාභ සැලසෙන ජල හා සනීපාරක්ෂක සේවා පද්ධතියක් ගොඩනැගීම සිදු කරයි.
මෙම මූල්‍යකරණ පැකේජය, ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ලබාදෙන ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 50 ක සහනදායී ණය පහසුකමක් සහ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 50 ක නිත්‍ය ණය පහසුකමක් යන කොටස් දෙකකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තම ආර්ථික ප්‍රතිසාධනය තහවුරු කරමින් සහ සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරමින් සිටින අවස්ථාවකදී, මෙම ප්‍රතිපත්ති පාදක ණය පහසුකම මගින් අයවැය සඳහා අත්‍යවශ්‍ය සහාය සපයන අතරම ජල හා සනීපාරක්ෂක ක්ෂේත්රයේ ප්රමුඛ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට ද උපකාරී වනු ඇත.
මෙම වැඩසටහන සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය විධායක ආයතනය ලෙස මෙන්ම ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් ලෙස ද කටයුතු කරයි. අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනෙකුත් ක්‍රියාත්මක කිරීමේ ආයතන ලෙස ක්‍රියා කරනු ලබයි.
මෙම ණය ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් ද, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මිය විසින් ද 2026 නොවැම්බර් මස 06 වන දින කොළඹ පිහිටි මහා භාණ්ඩාගාරයේ දී අත්සන් තබන ලදී.













