තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා

තරුණ ප්‍රජාව සහ පාර්ලිමේන්තුව සම්බන්ධ කරගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි.

තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමංගා මහත්මිය විසින් සකස් කරන ලද තරුණ ව්‍යවසායකත්වය සහ කර්මාන්ත සංවර්ධනය පිළිබඳ යෝජනාව,පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය විසින් සකස් කරන ලද පළාත් පාලන ආයතන තුළ තරුණයන් සවිබලගැන්වීම පිළිබඳ යෝජනාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි අම්බිකා සාමිවේල් මෙනෙවිය විසින් සකස් කරන ලද වතු හා වගා ක්ෂේත්‍රයේ තරුණයන් සඳහා වන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් විය.

එමෙන්ම, බාහිර තරුණ සහභාගීත්ව වැඩසටහන සහ නියමු වැඩමුළු මාලාව සම්බන්ධයෙන් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් විසින් සකස් කරන ලද යෝජනා පිළිබඳව ද දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.

තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙම යෝජනා පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඒවා අවසන් වශයෙන් සකස් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

මේ අවස්ථාවට සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website