
ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS) වසා දැමීමට දරන උත්සාහය පිළිබඳ විධිමත් විමර්ශනයක් අරඹන ලෙස Free Lawyers සංවිධානය රජයේ මුදල් පිළිබඳ කාරක සභවෙන් ඉල්ලීමක් කරයි.
එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත මෙම සංවිධානය විසින් යොමු කරන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
මහා භාණ්ඩාගාරය විසින් දැනට පවත්වා ගෙන යනු ලබන ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (Integrated Treasury Management Information System – ITMIS) වසා දැමීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් මේ වන විට මූලික සාකච්ඡා වට තුනක් පවත්වා ඇති බව අප වෙත වාර්තා වී ඇත. මේ පිළිබඳව අප සංවිධානයේ දැඩි අවධානය සහ කනස්සල්ල පළ කර සිටිමු.
ජාතික ජන බලවේගයේ (NPP) “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් මෙන්ම රජය විසින් අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුව තුළ ද ඩිජිටල් රාජ්‍ය පාලනයක් (Digital Governance) ඇති කරන බව අවධාරණය කර ඇත. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය අවම කිරීම සහ සියලුම රාජ්‍ය ආයතන ජාලගත කරමින් “ඩිජිටල් රාජ්‍යයක්” නිර්මාණය කිරීම රජයේ ප්‍රකාශිත ප්රතිපත්තියයි.
කෙසේ වෙතත්, මීට පෙර භාණ්ඩාගාරයේ සිදු වූ ඩොලර් මිලියන 2.5ක මුදල් අවභාවිතයට අදාළව, ITMIS පද්ධතිය සම්බන්ධයෙන් මුදල් කමිටුව ලබා දුන් උපදෙස් හා නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත. අවම වශයෙන් එහි සේවා සැපයීම් සහ ඊ-මේල් පද්ධතිය පවා මෙතෙක් යාවත්කාලීන කර නැත. මේ වන විට රුපියල් බිලියන 15කට ආසන්න මහජන මුදලක් වැය කර ඇතැයි අනුමාන කෙරෙන මෙම පද්ධතියේ කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය පිළිබඳ නිසි තහවුරු කිරීමක් ද සිදුවී නොමැත.
ITMIS යනු රජයේ ආදායම් පාලනය, වියදම් කළමනාකරණය, අයවැය සකස් කිරීම සහ සමස්ත භාණ්ඩාගාර මෙහෙයුම් විනිවිදභාවයකින් යුතුව ස්වයංක්‍රීයව (Automate) සිදු කරන පද්ධතියකි. එමඟින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 1000 කට අධික ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය සමඟ ඩිජිටල්ව සම්බන්ධ කෙරෙන අතර, රජයේ මූල්‍ය කටයුතු සත්‍ය කාලීනව (Real-time) නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී. අයවැය සකස් කිරීමේ පද්ධතිය (BFS), භාණ්ඩාගාර මූල්‍ය කළමනාකරණ පද්ධතිය (TFMS), අක් මුදල් කළමනාකරණය සහ රාජ්‍ය ණය කළමනාකරණය වැනි අනු-පද්ධති රැසකින් සමන්විත මෙම පද්ධතිය රාජ්‍ය මූල්‍ය විනය රැක ගැනීමට ඇති වැදගත්ම ඩිජිටල් යටිතල පහසුකමයි.
එවැනි පසුබිමක, මෙම පද්ධතිය අක්‍රීය කර ඒ වෙනුවට වසර 20 කට පෙර සකස් කරන ලද, සත්‍ය කාලීනව නිරීක්ෂණය කළ නොහැකි, යල්පැනගිය CIGAS (Computerised Integrated Government Accounting System) පද්ධතිය වෙත නැවත මාරු වීමට භාණ්ඩාගාරය උත්සාහ කරමින් සිටී. ස්වයංක්‍රීය නොවන (Offline) මෙම පැරණි පද්ධතියේ පවතින දුර්වලතා හේතුවෙන් සමස්ත රාජ්‍ය ගිණුම්කරණ ක්ෂේත්රයම දැනටමත් පීඩාවට පත්ව ඇත. CIGAS පද්ධතිය වෙත පූර්ණ වශයෙන් මාරුවීම රාජ්‍ය මූල්‍ය පද්ධතිය නැවතත් “ගල් යුගය” වෙත රැගෙන යාමක් බඳු අතිශය විනාශකාරී පියවරකි.
එබැවින්, ITMIS පද්ධතිය වෙනුවෙන් වැය කර ඇති මුදල්, එහි පවතින තාක්ෂණික දුර්වලතා සහ මුදල් කමිටුවේ නියෝග පැහැර හැරීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලුම පාර්ශවයන් වහාම කැඳවා විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසත්, මේ පිළිබඳව මුදල් කමිටුවේ කඩිනම් අවධානය යොමු කරන ලෙසත් පොදු ජන යහපත උදෙසා කටයුතු කරන “ෆ්‍රී ලෝයර්ස්” (Free Lawyers) සංවිධානය වෙනුවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
















