
ප්‍රකට බෞද්ධ භික්ෂූන් වහන්සේනමක වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ ජනාධිපති සමාව අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුව ආණ්ඩුවට මුහුණදීමට සිදු වූ අපේක්ෂිත නොවන අභියෝගය, ආණ්ඩුව දුර්වල කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් පිටත භාවිත කළ හැකි ක්‍රමවේද පිළිබඳ පෙරනිමිති සහිත අවවාදයක් ලෙස පැමිණේ. මෙම සිදුවීම මගින් පෙන්නුම් කළේ, පාර්ලිමේන්තුවේ අතිවිශාල බහුතරයක් හිමි ආණ්ඩුවක් පවා පාර්ලිමේන්තුවෙන් පිටත ඇතිවිය හැකි දේශපාලන පීඩනයන්ගෙන් සුරක්ෂිත නොවන බවයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන ඉල්ලීම්වලට මුලදී ප්‍රතිරෝධය දැක්වීමට උත්සාහ කළ නායකයන්, විපක්ෂයේ බලපෑම දරාගත නොහැකි මට්ටමට පැමිණි විට බොහෝවිට පසුබැසීමට හෝ ඒ සඳහා ඉඩකඩ සැලසීමට පෙළඹී ඇත. රාජ්‍යයේ මර්දනකාරී බලතල ශක්තිමත් කිරීම සඳහා අලුතින් පනත් කෙටුම්පත් තුනක් කරළියට පැමිණීමට මෙයද එක් වැදගත් සාධකයක් විය හැකිය.
අධිකරණය හමුවට පැමිණවීමට පෙර බන්ධනාගාර බලධාරීන් විසින් පූජ්‍ය ඥානසාර හිමියන් සිවුරු හැරවීම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ඉහළම මට්ටම්වල සාකච්ඡාවට බඳුන් වූ කරුණක් බවට පත්විය. එම හිමිනමගේ සිවුර සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් ලෙස ආරම්භ වූ මෙම සිදුවීම, ජනාධිපති සමාව ලබාදෙන ලෙස කෙරෙන ඉල්ලීමක් දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එය ප්‍රතික්ෂේප කළහොත්, ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට වන බලපෑම් ද ඊට ඇතුළත් විය. විපක්ෂ දේශපාලන පක්ෂ මෙම ඉල්ලීම් වටා රොක්වෙමින්, හිමිනමට සහය පළකරමින් මහජන පාගමන් සහ උද්ඝෝෂණ සංවිධානය කළේය. බුදුදහම සහ සිංහල ජාතිකවාදය දේශපාලන මෙවලමක් ලෙස භාවිත කිරීම ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසයේ කැපීපෙනෙන ලක්ෂණයකි. දේශපාලන බලය ලබාගැනීමට හෝ පවත්වාගැනීමට උත්සාහ කරන කිසිදු දේශපාලනඥයකු මෙම ප්රපංචයට සෘජුවම අභියෝග කිරීමට එඩිතර වී ඇත්තේ කලාතුරකිනි.
අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ අත්දැකීම මේ සඳහා කදිම නිදසුනකි. 1957 දී දෙමළ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා සමග ප්‍රාදේශීය සභා සහ බලය විමධ්‍යගත කිරීම හරහා දෙමළ දේශපාලන ග්රහණයන්ට සහ දුක්ගැනවිලිවලට විසඳුම් සෙවීමට ගිවිසුමකට පැමිණි අග්‍රාමාත්‍යවරයාට, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු සිංහල ජාතිකවාදී බලවේගවලින් දැඩි විරෝධයක් එල්ල විය. එම විරෝධතා අවසානයේ එම ගිවිසුම අහෝසි කිරීමට ඔහු ගත් තීරණයට හේතුවිය. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලපරිච්ඡේදවලදී ලබාගත් අත්දැකීම්වලින් ද පෙන්නුම් කරන්නේ ජාතික සංහිඳියාව සහ බලය බෙදාගැනීම ඉදිරියට ගෙනයෑමට උත්සාහ කිරීමේදී දේශපාලන නායකයන් මුහුණදුන් සීමාවන්ය. ඔහුගේ ධුර කාලය තුළ සිදුකළ සූදානම් කිරීම් සහ දේශපාලන විසඳුමක් සඳහා වූ සාකච්ඡා සිංහල ජාතිකවාදී බලවේගවල දැඩි විරෝධයට ලක්විය.
හැකියාව සහිත අවදානම් තත්ත්වය
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හිමිවන අතර සාමාජිකයන් අතර මනා සංවිධානාත්මකභාවයක් පවතින බැවින් පාර්ලිමේන්තු ක්‍රමවේද හරහා ඊට අභියෝග කිරීම දුෂ්කර ය. එහි ඇති විය හැකි අවදානම පවතින්නේ වෙනත් තැනකය. පාර්ලිමේන්තුවෙන් පිටත සිදුකෙරෙන සංවිධානය වීම් මගින් දේශපාලන ප්‍රතිවාදීන්, ආගමික නායකයන් සහ මහජනතාවගේ කොටස් එකතු විය හැකි අතර, එය පාර්ලිමේන්තු ගණන් හිලව්වලට පමණක් පාලනය කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය කරයි. දැනට සාකච්ඡාවට ලක්ව ඇති යෝජිත පනත් තුන වන ‘ත්‍රස්තවාදී ක්‍රියාවලින් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’, ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත’ සහ ‘රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය පිළිබඳ පනත’ යන සියල්ලම ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස අහිමි කරමින් රාජ්‍යයේ බලය මධ්‍යගත කිරීමට යොමු වී ඇත. හිංසනය, සංවිධානාත්මක අපරාධ හෝ පාර්ලිමේන්තුවෙන් පිටත එල්ල වන වෙනත් පීඩනයන් හරහා ආණ්ඩුව අස්ථාවර කිරීමට දැරෙන උත්සාහයන්ගෙන් තම ප්රජාතන්ත්රවාදී ජනවරම ආරක්ෂා කර ගැනීමට රාජ්‍යය සතු බලතල ශක්තිමත් කිරීම උපකාරී වනු ඇතැයි ආණ්ඩුව විශ්වාස කරනවා විය හැකිය. මෙවැනි තත්ත්වයන් ගැන රජයකට කනස්සල්ලට පත්වීමට සාධාරණ හේතු තිබේ.
ශ්‍රී ලංකාව දේශපාලන හිංසනය, ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ අත්විඳ ඇති අතර, වරින් වර ආගමික හා ජාතිවාදී හැඟීම් ඇවිස්සීම මගින් ප්රජාතන්ත්රවාදී ආයතන සහ ජාතික සංහිඳියා උත්සාහයන් පළුදු වී ඇත. පද්ධතිමය වෙනසක් (system change) පිළිබඳ පොරොන්දුව මත තේරී පත් වූ ආණ්ඩුවකට තම ජනවරම ආරක්ෂා කර ගැනීමටත්, නීතිය සියලු සියලුම පාලිතයන්ට සමානව ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීමටත් සෑම අයිතියක්ම ඇත. කෙසේවෙතත්, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට තෝරාගන්නා ක්රමවේදයන්ම එය විනාශ කිරීමට ද හේතු විය හැක. රාජ්‍යයට පුළුල් අභිමතානුසාරී බලතල ලබාදෙන නීති, අපරාධ ක්‍රියාකාරකම්වල යෙදෙන අයට එරෙහිව පමණක් නොව දේශපාලන ප්‍රතිවාදීන්, සන්සුන්ව උද්ඝෝෂණ කරන පිරිස්, සිවිල් සංවිධාන සහ රජය විවේචනය කරන පුද්ගලයන්ට එරෙහිව ද භාවිත විය හැක. රාජ්‍යය ආරක්ෂා කිරීම සහ බලය හොබවන පිරිස් ආරක්ෂා කිරීම අතර ඇති වෙනස හඳුනාගැනීම මෙහිදී ඉතා තීරණාත්මක ය.
ස්වාධීනත්වයෙන් පසු ශ්‍රී ලංකාවට බලපා ඇති ජාතික ගැටලුව සුවිශේෂී අවදානම් සහිත තවත් ක්ෂේත්රයකි. එය රටේ ජනතාව බෙදා වෙන්කළ අතර, මිලිටරි බලය යොදවා නැවත එක්සත් කරන තෙක් රට භූගෝලීය වශයෙන් ද බෙදා වෙන්කර තිබිණි. යුද්ධය අවසන් වූවද ඊට පාදක වූ දේශපාලන දුක්ගැනවිලි විසඳීමට හෝ ජාතිවාදී හා ආගම්වාදී අන්තවාදය මගින් වෛරය සහ බිය ඇති කිරීමට ඇති හැකියාව නැති කිරීමට හැකි වූයේ නැත. සුළුජාතික ප්රජාවන්ගෙන් සහ අන්තර්ජාතික ප්‍රජාවගෙන් මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබාගන්නා ලෙස රජයට දිගින් දිගටම පීඩනය එල්ල වේ. උතුර සහ නැගෙනහිර ප්‍රදේශ හමුදාකරණයෙන් මුදාහැරීම, නීත්‍යානුකූලව හෝ වෙනත් ආකාරයකින් හමුදාව භාරයේ පවතින ඉඩම් නැවත ලබාදීම සහ විශේෂයෙන් යුද සමයේදී සහ එය අවසානයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම මෙයට ඇතුළත් වේ. මෙම ගැටලු දේශපාලන සහ ආයතනික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන කරුණු ලෙස සලකනවා වෙනුවට මූලික වශයෙන් ආරක්ෂක ගැටලු ලෙස තවදුරටත් සැලකුවහොත්, අර්බුද නිර්මාණය කළ පසුබිම එලෙසම පවතිනු ඇත.
ගොඩනගන සාධනීය නිදසුනක්
පූජ්‍ය ඥානසාර හිමියන් වටා ඇති වූ අර්බුදය ආණ්ඩුව විසින් කළමනාකරණය කළ ආකාරය, මෙවැනි අභියෝග විසඳාගත හැකි ආකාරය පිළිබඳ නිදසුනක් සපයයි. වැරදිකරු වූ හිමිනමට සමාව දීමේ කාරණයේදී ආණ්ඩුව කිසිදු පරාජයක් හෝ සම්ප්‍රදායික එකඟතාවක් සිදුනොකිරීම විශේෂත්වයකි. ඒ අතරම, අදාළ ආගමික නායකත්වයේ (මහනායක හිමිවරුන්ගේ) අනුමැතියකින් තොරව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවුරු හැරවීම නොකළ යුතු බවට නව රීති හඳුන්වාදෙමින් සිවුර පිළිබඳ ප්රශ්නයේදී ආණ්ඩුව යම් එකඟතාවකට පැමිණියේය. රාජ්‍යයේ මර්දනකාරී බලය යොදාගැනීම වෙනුවට ආණ්ඩුව සහ බෞද්ධ භික්ෂූන් අතර පැවැති සාකච්ඡා මාර්ගයෙන් මෙම මතභේදය සාමකාමීව අවසන් වූ බව පෙනේ. ආණ්ඩුව සිය සංවාදශීලී ප්‍රවේශය හරහා ක්ෂණික මතභේද නිරාකරණය කරගන්නා අතරතුර අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ තම ස්ථාවරය පවත්වාගෙන ගියේය. මහජනතාවගෙන් ලැබුණු විශාල සහයෝගය මත පදනම් වූ පද්ධතිමය වෙනස (system change) ළඟාකර ගැනීමට නම් ආණ්ඩුව අනුගමනය කළ යුත්තේ මෙවැනි ප්රවේශයකි.
ප්රජාතන්ත්රවාදී පාලනය දුර්වල කළ, දූෂණය මුල් බැසගත් සහ ජාතික බෙදීම් පවත්වාගෙන ගිය ගැටලුවලට විසඳුම් සෙවීමට ආණ්ඩුවේ ජනවරම මගින් අවස්ථාවක් හිමි වේ. යෝජිත මෙම නීති තුන සම්මත කිරීමේදී ආණ්ඩුව හමුවේ ඇති අනතුර නම්, ඒවා රටේ නීති පද්ධතියට ඇතුළත් වූ පසු, වෙනස් දේශපාලන මත දරන ආණ්ඩුවලට ද ඒවා භාවිත කිරීමට සහ අවභාවිත කිරීමට ඉඩ සැලසීමයි. යහපත් චේතනාවෙන් නීති හඳුන්වා දෙන පාලනයකට වුවද, ඊළඟට පැමිණෙන පාලකයන් එම බලතල භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහතික විය නොහැක. නීතිය ක්‍රියාත්මක කිරීමට වගකියන ආයතන සෑම විටම ප්රජාතන්ත්රවාදී නිදහස ආරක්ෂා වන පරිදි එම බලතල අර්ථ නිරූපණය කරනු ඇතැයි අනුමාන කළ නොහැක. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ සඳහා හොඳම උදාහරණයයි. මාස හයක කාලයකට පමණක් බලපැවැත්වෙන පරිදි තාවකාලික පියවරක් ලෙස මුලින් හඳුන්වාදුන් එය දශක ගණනාවක් පුරා පැවැති අතර තවමත් ශ්‍රී ලංකාවේ නීති රාමුවේ කොටසක් ලෙස පවතී. එහි ඉතිහාසය පෙන්නුම් කරන්නේ රාජ්‍යයට සුවිශේෂී බලතල ලබාදුන් පසු, ඒවා සාධාරණීකරණය කළ මුල් සන්දර්භය වෙනස්වූවද එම බලතල නීතිය තුළ මුල් බැසගන්නා ආකාරයයි. මෙවැනි බලතල වගකීමෙන් යුතුව භාවිත කරන බවට දෙන පොරොන්දුව නීතිමය ආරක්ෂාවන් සඳහා ප්‍රමාණවත් ආදේශකයක් නොවේ.
දේශපාලන පද්ධතිය පරිවර්තනය කිරීමට සහ පද්ධතිමය වෙනසක් ඇති කිරීමට තේරී පත් වූ ආණ්ඩුවක්, ආසන්න දේශපාලන අභියෝගවලට මුහුණදීම සඳහා පනවන නීති, ඒවා ඇති කිරීමට හේතු වූ තත්ත්වයන්ට වඩා වැඩි කාලයක් පවතින බව සිහි තබාගත යුතුය. පද්ධතිමය වෙනසක අවසාන පරීක්ෂණය වන්නේ ආණ්ඩුවකට තම ප්‍රතිවාදීන් පරාජය කළ හැකිද යන්න පමණක් නොවේ. පද්ධතිමය වෙනසක් සඳහා වන එහි කැපවීමේ සැබෑ මිනුම වනුයේ, අනාගත පාලනයක් විසින් තම ආධාරකරුවන්ට එරෙහිව භාවිත කිරීමට අකමැති වන බලතල තමන් ලබාගැනීමෙන් වැළකී සිටීමට ආණ්ඩුවට ඇති හැකියාවයි. ආණ්ඩුවේ අරමුණ විය යුත්තේ බලයේ රැඳී සිටීම සඳහා විරුද්ධවාදීන් මර්දනය කළ හැකි බලවත් රාජ්‍යයක් නිර්මාණය කිරීම නොවේ. ඒ වෙනුවට, ආණ්ඩුව වඩාත් ප්රජාතන්ත්රවාදී සහ වගකීම් සහිත රාජ්‍යයක් බිහි කිරීමට ඉලක්ක කළ යුතුය. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සමස්ත ජනතාවගේම විශ්වාසය දිනාගන්නා, ඔවුන්ගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කරන සහ ඔවුන්ගේ මතභේද සාමකාමීව විසඳා ගැනීමට මාර්ග සලසන රාජ්‍යයකි.















