වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු සහ වන අලින්ට සිදුවන හානි අවම කිරීම සඳහා සකස් කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී 2026 ඔක්තෝබර් 31 වන දිනට අදාළ ප්‍රගතිය සමාලෝචනය කරමින්, විශේෂයෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ වන අලි දුම්රියේ ගැටීමේ අවදානම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වන දුම්රිය එන්ජින් වෙනුවට අවට පරිසරය වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි සහ දුම්රියේ වේගය කාර්යක්ෂමව පාලනය කළ හැකි නවීන දුම්රිය එන්ජින් හා දුම්රිය කට්ටල හඳුන්වාදීමට යෝජනා වී ඇත. එමෙන්ම රියදුරන්ට ඉදිරි මාර්ගය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි අධිබලැති එන්ජින් ධාවනයට එක් කිරීමත්, වන අලින් දුම්රිය මාර්ග හරහා මාරුවන ස්ථානවල පවතින නාම පුවරු වැඩිදියුණු කිරීමත් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
තවද, හබරණ දුම්රිය ස්ථානයේ සිට කන්තලේ දෙසට ගමන් කිරීමේදී සැතපුම් 133 1/2 සැතපුමට ආසන්නයේ පිහිටි ප්‍රදේශයට ජලය පානය කිරීම සඳහා පැමිණෙන වන අලින් දුම්රිය මාර්ගය ආසන්නයට පැමිණීම වැළැක්වීම සඳහා විකල්ප ජල මූලාශ්‍ර සැපයීමට යෝජනා කර තිබේ. ඒ අනුව, සුදුසු ස්ථාන දෙකක ජල තටාක ඉදිකර ඒවාට ජලය සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.
තව ද දුම්රිය මාර්ගය දෙපස පැහැදිලිව නිරීක්ෂණය කිරීම සඳහා චලන සංවේදක (Motion Sensors) සහිත සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආලෝක පද්ධති සවිකිරීමට ද අවධානය යොමු කර තිබේ. මෙම සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහාය ලබාගැනීමේ වැඩපිළිවෙළ යටතේ Wildlife Nature Protection සංවිධානය සමඟ 2025 අප්‍රේල් 07 වන දින සාකච්ඡාවක් පවත්වා ඇති අතර, අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා එම සංවිධානයේ එකඟතාව ද හිමිව ඇත.
එසේම, දුම්රිය රියදුරන්ට දුම්රිය මාර්ගයේ දෙපස පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වන පරිදි සූර්ය පැනල සහිත එල්ලෙන ආලෝක පහන් 30ක් සවිකිරීමේ වැඩපිළිවෙළක් ද යෝජනා කර තිබේ.තවත් මෙවැනි ක්‍රියාමාර්ග රැසක් එහිදී සාකච්චා කෙරුණු අතර මෙම සියලු ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම තුළින් වන අලි සහ දුම්රිය අතර සිදුවන ගැටීම් අවම කර ගැනීමටත්, වන අලින්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අපේක්ෂා කෙරේ.










