අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇන්ටිගුවා සහ බාබියුඩාහි පැවති 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM) නිල සමාරම්භක උත්සවයට සහභාගී වූවාය.
මෙම සමාරම්භක සැසියේදී බ්‍රිතාන්‍යයේ මහ රජු, පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපති ඇන්ටිගුවා සහ බාබියුඩා අග්‍රාමාත්‍ය ගැස්ටන් බ්‍රවුන් (Gaston Browne), පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය ෂර්ලි බොට්ච්වේ (Shirley Botchwey) සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපතිත්වය නියෝජනය කරමින් සැමෝවා අග්‍රාමාත්‍යවරයා අදහස් දැක්වූහ.
සිය සමාරම්භක දේශනය සිදු කළ පොදුරාජ්‍ය මණ්ඩලයීය සභාපති ඇන්ටිගුවා සහ බාබුඩාහි අග්‍රාමාත්‍ය ගැස්ටන් බ්‍රවුන්, රටක විශාලත්වය මත රදා නොසිට සියලුම පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් සියලු දෙනා ඇතුළත් සංවර්ධනයක් සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම, අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව සහ කාන්තා සවිබල ගැන්වීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය , ආයෝජන සහ වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීම තුළින් පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර සහ අන්තර් සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළාය. අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය කුසලතාවලින් තරුණ පරපුර සන්නද්ධ කිරීම සඳහා දුරස්ථ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමේ වැදගත්කම ද ඇය පෙන්වා දුන්නාය. තවද, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන බලපෑම් දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින්, ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා සියලුම සාමාජික රටවල සූදානම සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඇය අවධාරණය කළාය.
පොදුරාජ්‍ය මණ්ඩලයේ පොදු අරමුණු සහ ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා සාමූහික ක්‍රියාකාරීත්වය, සියල්ලන් ඇතුළත් සංවර්ධනය, ආර්ථික සහයෝගීතාව සහ අභියෝග හමුවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙම දේශන මඟින් අවධාරණය කෙරිණි.
















