
ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය ඩිමොක්රටික් පක්ෂයට ඓතිහාසික ජයග්‍රහණ රැගෙන එන මැතිවරණයක් බවට දැනටමත් පත්වෙමින් තිබෙන බව බීබීසී වාර්තාවක සඳහන් වේ. ඩිමොක්රටික් පක්ෂය ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ලබාගෙන ඇති අතර, සෙනෙට් මණ්ඩලයේ බලය ද තමන් සතු කර ගැනීමට ඉතා ආසන්නව සිටින බව වාර්තා වේ.
වසරකට පෙර දැඩි තරගකාරීත්වයක් පවතිනු ඇතැයි සිතූ සෙනෙට් ආසන දෙකක් ඉතා පහසුවෙන් ජය ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත් වී තිබේ. ඒ ජෝර්ජියා ප්‍රාන්තයේ ජෝන් ඔසොෆ් නැවත තේරී පත්වීම සහ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂය සතුව තිබූ ආසනය යි.
උතුරු කැරොලිනා ප්‍රාන්තයේ හිටපු ඩිමොක්රටික් ආණ්ඩුකාර රෝයි කූපර්, රිපබ්ලිකන් පක්ෂයේ මයිකල් වට්ලි පරදවා ලබා ගත් ජයග්‍රහණය, සෙනෙට් මණ්ඩලයේ බලය ඇල්ලීම සඳහා ඩිමොක්රටික් පක්ෂයට අවශ්‍ය ආසන හතරෙන් පළමු වැන්න යි. දකුණු කැරොලිනා ආසනය ද ජයග්‍රහණය කිරීමත් සමග ඔවුන් දැන් ඉලක්කයෙන් අඩක් සම්පූර්ණ කර ඇත.
මේ අතර, 2022 වසරෙන් පසු පළමු වතාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනා ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත් වී තිබේ. ප්‍රධාන ආසන කිහිපයක ප්‍රතිඵල දෙස බැලීමේදී එයට හේතු පැහැදිලි වෙයි.
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂයට පහසුවෙන් ජය ගත හැකි වන පරිදි ඩිමොක්රටික් පක්ෂය සතුව තිබූ ආසන තුනක සීමාවන් වෙනස් කර තිබුණ ද, රිපබ්ලිකන් පක්ෂයට එම ආසන තුන ම අහිමි විය. එම ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂය පහසුවෙන් ජයගනු ඇතැයි සිතූ අනෙකුත් ආසන සඳහාද දැන් දැඩි තරගයක් නිර්මාණය වී ඇත.
ඩිමොක්රටික් පක්ෂය බටහිර උතුරු කැරොලිනා සහ කෙන්ටකි ප්‍රාන්තවල රිපබ්ලිකන් ආසන තමන් සතු කර ගත් අතර, වර්ජිනියා සහ ඉන්ඩියානා ප්‍රාන්තවල ද ඉදිරියෙන් සිටී. ඔවුන් මෙම ජයග්‍රහණ ලබා ගත්තේ ඩිමොක්රටික් පාක්ෂිකයන්, විශේෂයෙන් ම දකුණුදිග ප්‍රාන්තවල සිටින කළු ජාතික ඡන්දදායකයන් විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම නිසාය. එමෙන්ම වසර දෙකකට පෙර රිපබ්ලිකන් පක්ෂයට සහය දුන් ෆ්ලොරිඩාවේ හිස්පැනික් (ඇමෙරිකානු-ලතින්) ඡන්දදායකයන් නැවතත් ඩිමොක්රටික් පක්ෂය වටා රොද බැඳීමද මෙයට හේතුවක් විය.















