සාංඝික දේපළ ගැන උඩු යටිකුරු වන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් – “වනාන්තර” නීතියත් වෙනස් වෙයි

පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් (මූලික අයිතිවාසිකම් නඩු අංක 351/2022) මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවක් ලංකාවේ වනාන්තර සම්බන්ධ සාම්ප්‍රදායික නීතිය පමණක් නොව සාංඝික දේපොළ සම්බන්ධ නීතිය සහ ආකල්ප වෙනස් කළ බව නීතිවේදීන්ගේ අදහසයි. මේ එම මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව සම්බන්ධයෙන් අදාළ නඩුකරය පවරන ලද පරිසර යුක්ති කේන්ද්‍රයේ සභපති ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සහ එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා දක්වන ලද අදහස් වලින් සම්පාදිත ලිපියකි.

මෙපමණ කාලයක් සමාජය තිබුණ මතය වූයේ ‘වනාන්තරයක් යනුවෙන් අදහස් කරන්නේ රජය විසින් නීති සහ රෙගුලාසි මඟින් ‘වානාන්තරයක්’ ලෙස ප්‍රකාශයට පත්කරන ලද භූමි ප්‍රදේශයක් පමණයි බවය. නමුත් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවකින් එම මතය වෙනස් වූවේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, පෞද්ගලික ඉඩමක හෝ වනාන්තර ස්වභාවයක් තිබෙන්නේ නම් එය වනාන්තරයක් ලෙස සැලකිය හැකි ය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ එම තීන්දුවෙන් පසු සිදුවිය හැකි වෙනස්වීම් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මෙසේ පැවසුවේය, “මෙපමණ කාලයක් අපේ රටේ පෞද්ගලික ඉඩම්වල හිමිකරුවන්ට අවශ්‍ය ආකාරයට එළි පෙහෙළි කිරීම් කළා. නමුත් මේ නඩු තීන්දුවෙන් පසුව, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසුව පෞද්ගලික ඉඩමක හෝ හෙක්ටයාරයක් හෝ ඊට වඩා වැඩි වනාන්තර එළිපෙහෙළි කිරීමක් කරනවා නම් මීට වැඩිය නීති දැඩි වෙනවා. වෙනත් වචනයකින් කිව්වොත්  ජාතික පාරිසරික පනත යටතේ පාරිසරික බලපෑමක් තක්සේරුවක් කිරීමට සිදුවෙනවා. මම හිතන ආකාරයට මේක වැදගත් නිර්වචනයක් වගේම වැදගත් සන්ධිස්ථානයක්. ඒකට හේතුව තමයි අපේ රටේ පෞද්ගලික ඉඩම් යැයි සලකනු ලබන ඉඩම් මහා පරිමාණයෙන් එළිපෙහෙළි කිරීම් මෑත කාලයේ දී සිදු වුණා. දැනටමත් සිදුවෙමින් තිබෙනවා පමණක් නොව ඇතැම් අවස්ථාවල රක්ෂිත වල පවා සිදුවෙමින් තිබෙනවා. මේ පසුබිම තුළ මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැදගත් තීන්දුවක් බවට පත්වෙනවා”.

  • සාංඝීක දේපොළ වලට නව අර්ථකථනයක්

“ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව මඟින් ‘බුද්ධ ශාසනය’ කියන එකත් නිර්වචනය කරලා තිබෙනවා. මම දන්නේ නැහැ මීට කලින් නඩුවකින් බුද්ධ ශාසනය යන්න කුමක් ද කියලා නිර්වචනය කරලා තිබෙනවා ද කියලා. මෙම නඩු තීන්දුව අනුව බුද්ධ ශාසනය නිර්වචනය කිරීමේ දී ධර්මය, සංඝා, දේපොළ ආදි සම්පූර්ණ විග්‍රහයක් කරලා තිබෙනවා. ඒ අනුව මේ නඩු තීන්දුව පාරිසරික වශයෙන් පමණක් නොවෙයි රටේ සෙසු කාරණා සම්බන්ධයෙන් වැදගත් කරුණු කාරණා සපයන ලද නඩු තීන්දුවක් ලෙස සැලකිය හැකියි”.

මෙම නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තවත් වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත්කළ බව ආචාර්ය රවීන්ද්‍රනාත් පැවසුවේය. ඒ සාංඝීක දේපොළ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථකථනයයි. ඔහු එම තීන්දුවේ හරය පැහැදිලි කරමින් මෙසේ ද පැවසුවේය, “සාංඝීක දේපොළ, සන්නසකින් හෝ වෙනත් ආකාරයකින් ලබන ලද දේපොළ ‘පෞද්ගලික දේපොළ’ කාණ්ඩයට අයත් නොවන බවත් මේ නඩු තීන්දුවේ පැහැදිලිව විස්තර කරලා තිබෙනවා. සාංඝීක දේපොළ පෞද්ගලික දේපොළ යන අර්ථයෙන් සමහරු භාවිතා කරනවා. ඒක වැරදියි, බුද්ධ ධර්මයේ දේශනාවලට පටහැනි ආකාරයට ඒවා භාවිතා කිරීම සුදුසු නැති බව මෙම නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා”.

  • ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග

නාකොළගනේ පුරාණ රජමහා විහාරස්ථානයේ එදිරිව පරිසර යුක්ති කේන්ද්‍රය පැවරූ නඩුවේ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග ද විශේෂ වැදගත්කමකින් යුතු බව ආචාර්ය දාබරේ පැවසුවේය.

“මේ නඩු තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය (විශේෂයෙන්) බෞද්ධ කටයුතු කොමසාරිස්ට නියෝගයක් නිකුත් කරලා තිබෙනවා නීති විරෝධී ආකාරයෙන් කරන ලද සියලුම උකස් කිරීම්, පැවරීම් ආදිය තිබෙනවා නම් ඒවා නැවත ශාසනයට, නැතිනම් පන්සලට ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වහාම ගන්න කියලා. ඒ වගේම විහාර දේවාලගම් පනතේ 31 වන වගන්තිය යටතේ නීති විරෝධීව ඇතිකර ගෙන තිබෙන බදු ගිවිසුම් තිබෙනවා නම් ඒවා වහාම අවලංගු කරලා අදාළ වත්කම් වහාම පන්සලට ගන්න කියලා නියෝග කරලා තිබෙනවා”.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පමණක් නොව නීතිපතිවරයාට ද මෙම නඩු තීන්දුව හරහා නියෝග නිකුත් කර ඇති බව ආචාර්ය දාබරේ පැවසුවේය.

“ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකුගේ අධීක්ෂණය යටතේ වෙනම අංශයක් පිහිටුවලා මෙම තීන්දුවේ තිබෙන නියෝග ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා. මෙහි අදහස වන්නේ යම්කිසි වැරදිකාරයෝ සිටිනවා නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීම. විශේෂයෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පළාත් අධිකාරිය මෙම තීන්දුව හරහා වරදකරුවන් බවට පත්කරලා තිබෙනවා. ඒ අයට විරුද්ධව පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා”.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිකුත් කළ නියෝග ද ආචාර්ය දාබරේ විශේෂයෙන් ඉස්මතු කළේය.

“වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. මෙම නඩුවේ දී මිනුම්පතිවරයා විසින් පිඹුරක් ඉදිරිපත් කළා. ඒ පිඹුරේ කැලෑ ඉඩම් ලෙස දක්වා තිබෙන ඉඩම්, කුඹුර සහ හේන ලෙස දක්වා තිබෙන ඉඩම්, ඒ ප්‍රදේශයේ ජනතාවත් සමඟ සාකච්ඡා කරලා වන අලි සඳහා රක්ෂිතයක් ලෙස වෙන්කරන ලෙසත් ඒක ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් නියෝග කර තිබෙනවා. මෙසේ ප්‍රකාශයට පත්කරන ප්‍රදේශය තුළ නාකොළගනේ පුරාණ රජමහා විහාරාධිපති හිමියන්ගේ නියෝජිතයින් හෝ උන් වහන්සේගේ අනුදැනුම මත යම්කිසි භූමියක් එළිපෙහෙළි කර තිබේ නම් උන් වහන්සේගේ වියදමින් එම ඉඩමේ නැවත වන වගාව කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. නැවත වන වගාව සඳහා යන මුදල් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාස තුනක් ඇතුළත ගණනය කර නාකොළගනේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු බවත්, උන් වහන්සේ මාස තුනක් ඇතුළත එම මුදල ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් වෙනවා” ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ වැදගත් නියෝග සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ආචාර්ය දාබරේ පැවසුවේය.

  • පෙත්සම්කරුවන්ටත් නියෝග

මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට ද නියෝග කිහිපයක් නිකුත් කළ බව ආචාර්ය රවීන්ද්‍රනාත් පැවසුවේය.

ඒ අනුව මෙම නඩු තීන්දුවෙන් වැරදිකරුවන් බවට පත්කර ඇති සියලු පාර්ශ්වයන්ට නඩු පැවරීමට අවශ්‍ය පැමිණි කරන ලෙසත්, අදාළ පැමිණිලි කිරීමෙන් පසු එකී පැමිණිලි සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙන බවත් ආචාර්ය දාබරේ පැවසුවේය.

  • රාජ්‍ය සේවයේ වගවීම

මෙම නඩු තීන්දුව මෙරට අධිකරණ ඉතිහාසයේ වැදගත්ම තීන්දුවක් ලෙස තමා දකින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපතිවරයා පැවසුවේය.

“රාජ්‍ය සේවය විධිමත් හා යථාවත් කිරීම සඳහා මෙම නඩු තීන්දුව වැදගත් වෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවටත්, ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියටත් ඔවුන්ගේ අතින් සිදු වුණ නීතිමය අතපසු වීම් සම්බන්ධයෙන් තමන්ගේ කනගාටුව පළ කරලා සහ මින් ඉදිරියට ආපසු මෙවැනි දේවල් සිදු නොවන ලෙස ගන්නා වූ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මාස දෙකක් ඇතුළත (භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත්කරන) ඉරිදා පුවත්පත්වල දැන්වීම් පළ කිරීම මඟින් ජනතාවට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. මම හිතන ආකාරයට එය රාජ්‍ය සේවයේ වගවීම සම්බන්ධ ඉතාම තීරණාත්මක නියෝගයක්” ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පැවසුවේය.

  • නඩුවේ පසුබිම සහ බලපෑම

නාකොළගනේ පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගත් මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ පසුබිම ගැන කෙටි පැහැදිලි කිරීමක් කළ පරිසර යුක්ති කේන්ද්‍රයේ ජේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා පැවසුවේ, මෙම නඩුවට පාදක වූයේ නාකොළගනේ පුරාණ රජමහා විහාරය ආශ්‍රිත අක්කර 1500ක පමණ වනාන්තර ප්‍රදේශයක් විහාරාධිපති වලත්වැවේ රාහුල හිමියන් (10 වන වගඋත්තරකරු) විසින් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කර වානිජ වගාවන් සහ ගල් වැඩපළ සඳහා යොදා ගැනීම බවයි. විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථාන භූමියට අයත් නොවන රජයේ වන ඉඩම් පවතින නීතියට පටහැනි අයුරින් භාවිත කරමින් කටයුතු කිරීම, මෙම වන විනාශය හේතුවෙන් පාළුඩකඩවල වැවේ පෝෂක ප්‍රදේශ විනාශයට පත්වීම, නීති විරෝධී අලිවැට වල් නිසා අලි – මිනිස් ගැටුම උග්‍ර වී ජන ජීවිතයට තර්ජනයක් වීම මෙම මූලික අයිතිවාසිකම් නඩුව පැවරීමට හේතු වූ බව ඔහු පැවසුවේය.

“පරිසර යුක්ති කේන්ද්‍රය මේ මූලික අයිතිවාසිකම් නඩුවේ විත්තිකරුවන් ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු, සංරක්ෂක ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂක ජනරාල්, බෞද්ධ කටයුතු කොමසාරිස්, පොලිස්පති, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, වයඹ පළාත් අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති,  පූජ්‍ය වලත්වාවේ රාහුල හිමි සහ නීතිපතිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කළා” හේමන්ත විතානගේ මහතා මෙම ඓතිහාසික නඩුවේ සුලමුල හෙළිකරමින් පැවසුවේය.

“මෙම නඩුව අංශ කිහිපයකින් වැදගත් වෙනවා. මූලික වශයෙන් නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අයත් අක්කර 1500ක පමණ වනාන්තර ප්‍රදේශයක් විහාරාධිපති හිමියන් විසින් නීති විරෝධී ලෙස එළිපෙහෙළි කර වානිජ වගාවන්ට සහ ගල් වැඩපොළවලට යොදා ගැනීම හරහා අදාළ භූමියේ වන විනාශයක් සිදුවන බවත්, මේ වන විනාශය හේතුවෙන් පාළුකඩවල වැවේ පෝෂක ප්‍රදේශ විනාශ වී ඇති බවත්, නීති විරෝධී අලිවැටවල් නිසා අලි – මිනිස් ගැටුම උග්‍ර වී ජන ජීවිතයට තර්ජනයක් වී ඇති බවත් අධිකරණය පිළිගත්තා”.

මෙහි දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය නියෝගයේ සඳහන් කළ ‘වැදගත්ම’ කරුණක් ද හේමන්ත විතානගේ මහතා ඉස්මතු කළේය.

“මේ නඩු තීන්දුවේ සඳහන් වැදගත්ම කාරණයක් ලෙස මම දකින්නේ ‘බෞද්ධ මූලධර්මවලට පටහැනි අරමුණු සඳහා පන්සල් දේපොළ අන්සතු නොකළ යුතු අතර බෙදා දීම නොකළ යුතුය’ යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සටහන් කිරීමයි.

මෙහි දී හේමන්ත විතානගේ පැවසුවේ කුකුළු මස් කර්මාන්ත ශාලාවක් ඇතුළු විවිධ වාණිජ ව්‍යවසායන් සඳහා පන්සලේ දේපොළ විකුණා හෝ බදු දී ඇති බව අධිකරණය නිරීක්ෂණය කර ඇති බවයි. මෙම නඩු තීන්දුව බෞද්ධ මූලධර්ම වලට පටහැනි අරමුණු සඳහා පන්සල් සතු දේපොළ අන්සතු කරන සෙසු භික්ෂූන් වහන්සේලාගේ ද අවධානයට ලක්වනු ඇතැයි තමා විශ්වාස කරන බව හේමන්ත විතානගේ පැවසුවේය.

  • රාජ්‍ය ආයතනවලට රතු එළියක්

මෙම නඩු තීන්දුව ආගමික සංස්ථාවට පමණක් නොව රාජ්‍ය ආයතනවලට සහ රාජ්‍ය නිලධාරීන්ට ද සිය ‘වගවිම’ සම්බන්ධයෙන් යළි අවධානය යොමු කිරීමට අවස්ථාවක් උදා කරන බව ද හේමන්ත විතානගේ පෙන්වා දුන්නේය.

“රාජ්‍ය ආයතනයක් / නිලධාරියෙක් නීතිය යටතේ ක්‍රියා කිරීමේ වගකීමක් ඇති විට ඊට අනුකූලව ක්‍රියා නොකිරීම /අකර්මන්‍යතාවය ජනතාවගේ මූලික අයිතිවාසිකම් දිගින් දිගට කඩකිරීමක් ලෙස මෙම නඩුවේ අර්ථ දක්වා තිබෙනවා” ඔහු පැවසුවේය.

මෙහි දී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙම නඩු තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝහිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් ‘පරිසරය සුරැකීම රජයේ මෙන්ම පුද්ගලයින්ගේ ද වගකීමක්’ ලෙස අවධාරණය කළ බවයි.

  • සියලුම භික්ෂූන් වහන්සේලාගේ අවධානයට

හේමන්ත විතානගේ මහතා ද අවධාරණය කළේ මෙම නඩු තීන්දුව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පමණක් නොව දේවාල වල කපු මහතුන් සහ අන්‍යාගමික පූජකතුමන්ලාගේ ද අවධානය යොමු විය යුතු නඩු තීන්දුවක් බවයි.

“සෑම පන්සලකම වැඩ වාසය කරන නායක ස්වාමින් වහන්සේලා විසින් කියවා බැලිය යුතු හා අවධානයට ගත යුතු නඩු තීන්දුවක් ලෙස මම මේක සලකනවා. ඒකට හේතුව තමයි මෙම නඩු තීන්දුව මඟින් සාංඝීක දේපොළ සහ සන්නස් මඟින් ලැබෙන දේපොළ පිළිබඳව හොඳ නිර්වචනයක් ලබා දීලා තිබෙනවා. මේක ලංකාවේ තිබෙන ඉහළම අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක්. එ් නිසා මේ තීන්දුව මෙවැනි ඉඩම් ප්‍රශ්න සම්බන්ධ ගැටලු, පන්සල්වල බූදලය සම්බන්ධ ගැටලු සහ සන්නස් ඉඩම් සම්බන්ධ ගැටලු වලට නිතර නිතර උපුටා දක්වන නඩු තීන්දුවක් බවට පත්වේවි” හේමන්ත විතානගේ මෙම නඩු තීන්දුවේ තවත් වැදගත් පැතිකඩක් පැහැදිලි කරමින් පැවසුවේය.

  • බෞද්ධ කටයුතු කොමසාරිස්

මෙහි දී හේමන්ත විතානගේ පෙන්වා දුන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කළමනාකාරීත්වයේ අඩුපාඩු මෙවැනි ගැටලු ප්‍රධාන හේතුව බවයි. මම දකින ආකාරයට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට තමන් සතු බලතල හා එහි වපසරිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නැති බව පේනවා. අක්කර දස ගණනක් නොවෙයි ඇතැම් විට දස දහස් ගණන් සන්නස් ඉඩම් තිබෙන පන්සල් සහ දේවාල අපේ රටේ තිබෙනවා. එවැනි බොහෝ ඉඩම් මේ වන විට බෞද්ධ මූලධර්ම වලට පටහැනි ආකාරයට භාවිතා කරනවා. නමුත් ඒ ගැන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් අවධානයක් නැහැ. මම හිතනවා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වඩාත් වැඩි අවධානයක් යොමු යුතුයි”.

මෙහි දී විහාර දේවාලගම් පනත යටතේ හෝ සන්නස් පත්‍ර යටතේ හිමිකාරීත්වය දරන ඉඩම් විශාල වශයෙන් කොල්ලකෑමේ සහ අපහරණය කිරීමේ වැඩපිළිවෙළක් ගැන ද හේමන්ත විතානගේ සිය කණස්සල්ල පළ කළේය. ඔහු මෙහි දී පැවසුවේ ගැටලුව පවතින්ගේ අදාළ ප්‍රදේශවල ගොවි ජනතාව මෙම ඉඩම් අල්ලා ගැනීම හෝ ඒවායේ වගා කටයුතු කිරීම ගැන නොව ධනවත් හා බලවත් පුද්ගලයින් සංවිධානාත්මකව, බොහෝ විට කෘෂිකර්මාන්තයේ නාමයෙන් සිදුකරන විනාශය සම්බන්ධයෙන් බවයි.

මෙම නඩු තීන්දුව හරහා බෞද්ධ ජනතාවට හෝ බෞද්ධ විහාරස්ථානවල අඛණ්ඩතාවට කිසිදු ආකාරයක හානියක් සිදු නොවන බව ද ඔහු දැඩිව අවධාරණය කළේය.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website