ජනතාව මාළිමාවට ඡන්දය දුන්නේ දෙන්න වෙන පක්ෂයක් නැති නිසයි – හිටපු අමාත්‍ය, ඩිව් ගුණසේකර

ඒක තනිකරම නායකත්ව අර්බුදය හේතුවෙන් නිර්මාණය වුණ තත්ත්වයක්. කැපී පේන කිසිම නායකයෙක් මතු වුණේ නැහැ, ශක්තිමත් දේශපාලන පක්ෂයක් තිබුණේ නැහැ. ඉතිං, මිනිස්සු මාළිමාවට ඡන්දය දුන්නා. විශාල බලාපොරොත්තු ඇතිව අනුර කුමාර දිසානායකට ඡන්දය දුන්නා.

ඇමතිතුමනි, මේ දවස්වල විශ්‍රාම සුවයෙන් සිටිනවා ද ? එසේ නොමැති නම් තවමත් ක්‍රියාකාරීව දේශපාලන කටයුතු කරනවා ද ?

දේශපාලනඥයෝ විශ්‍රම ගන්නේ නැහැනේ.

ඔබතුමා මේ දවස්වල මොකද කරන්නේ ?  

මම පසුගිය මාසේ පොත් තුනක් ප්‍රකාශයට පත් කළා. ඒ වගේම තමත් දේශපාලන මණ්ඩලේ රැස්වීම්වලට යනවා. මධ්‍යම කාරක සභාවේ වැඩවලට යනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් කාලය වැය කරනවා

පක්ෂයේ තත්ත්වය කොහොමද ?

පහුගිය මැතිවරණේ දී අපි පරාජයට පත් වුණානේ. ඉතිං අනෙක් පක්ෂ වාගේ අපිත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරගෙන යනවා.

දැන් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ආණ්ඩුවක්, ඒක වාමාංහික ආණ්ඩුවක් කියලත් කියනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායකයා ලෙස ඔබ මේ ආණ්ඩු වෙනස දකින්නේ කොහොම ද ?

මාළිමාවේ ජයග්‍රහණය කිසිසේත් සැලසුම් සහගත ජයග්‍රහණයක් නොවෙයි. ඒක අනපේක්ෂිත ජයග්‍රහණයක්. මේක පැහැදිලි කර ගන්න අපිට ටිකක් අතීතයට යන්න වෙනවා. 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා දුන්නට පස්සේ පළමු රැස්වීම සංවිධානය කළේ මම, ඒක තිබ්බේ මාතර. මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු කැබිනට් එකම ඒ රැස්වීමට ආවා. මම ඒ රැස්වීමේදී ඉතාම පැහැදිලිව කිව්වා, ‘ළඟ එන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න ඔබතුමාට සිද්ධ වෙනවා’ කියලා. ඒක ජයග්‍රහණය කරන්න කළ යුතු දේ ගැනත් මම පැහැදිලි කළා. කොහොම හරි අවසානයේ දේශපාලනය නොකළ මිනිහෙක් ජනාධිපති වුණා. (ඔහු මගේ මිත්‍රයා, ඒක වෙනම කතාවක්) ඔහු හමුදා නිලධාරියෙක් වශයෙන් සාර්ථක වුණත්, අත්දැකීම් තිබුණත් දේශපලනය ගැන අත්දැකීම් තිබුණේ නැහැ. අපි කියන දේවල් වලට කන් දුන්නෙත් නැහැ. ඔහු කන් දුන්නේ වියත් මඟට පමණයි. අවසානයේ අමාරුවේ වැටුණා. මම මුලින් කිව්වා වගේම ආර්ථික අර්බුදය ඇති වුණා. ගෝඨා පත් කළ මහබැංකු අධිපතියා 2022 අප්‍රේල් මාසේ 12 වැනිදා ‘රට බංකලොත්’ කියලා ප්‍රකාශයක් නිකුත් කළා. ඔහු රට බංකලොත් කියලා කිව්වේ විදේශ විනිමය තිබුණේ නැහැ. ඒක ඇත්ත, ප්‍රමාණවත් තරම් විදේශ විනිමය තිබුණේ නැහැ. නමුත් මේ කිසිම දෙයක් කැබිනට් එක පවා දැනගෙන හිටියේ නැහැ. මහ බැංකු අධිපතිවරයා මේ ප්‍රකාශය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහන ගන්න බලාගෙන. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. ඔහු රට ගොඩගන්න යම් ප්‍රමාණයකට වැඩ කළා.  ඊට පස්සේ 2024  ජනාධිපතිවරණය ආවා. 2024 ජනාධිපතිවරණය වන විට එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැලී පහකට කැඩිලා, පොහොට්ටුවත් කැලී කෑලී වලට කැඩුණා. ඉතිං… මිනිස්සුන්ට ඡන්දය දෙන්න පක්ෂයක් නැහැ, නායකයෙක් නැහැ. ඒ නිසාම 3%ක හිටිය ජනතා විමුක්ති පෙරමුණ 43%ට ගියා.

ඔබ කියන ආකාරට ජවිපෙ, නැතිනම් මාළිමාව 3%ක සිට 43%ක් දක්වා ලොවෙත් නැති වෙන වර්ධනයක් ලබා ගත්තේ කොහොමද ?

ඒක තනිකරම නායකත්ව අර්බුදය හේතුවෙන් නිර්මාණය වුණ තත්ත්වයක්. කැපී පේන කිසිම නායකයෙක් මතු වුණේ නැහැ, ශක්තිමත් දේශපාලන පක්ෂයක් තිබුණේ නැහැ. ඉතිං, මිනිස්සු මාළිමාවට ඡන්දය දුන්නා. විශාල බලාපොරොත්තු ඇතිව අනුර කුමාර දිසානායකට ඡන්දය දුන්නා.

ඉතිං ජනතාවගේ ඒ බලාපොරොත් ඉටු වෙලා නැද්ද ?

2022 ආර්ථික අර්බුදය හේතුව දූෂණය වුණත් ලෝකේ දූෂණය නැති රටක් නැහැ. බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ ‘අදින්නා දානා’ කියලා කිව්වෙත් හොරකම, දූෂණය තිබුණ නිසානේ. දූෂණ විරෝධය ඡන්දය දිනා ගන්න හොඳයි. නමුත් රටක පාලනය සාර්ථකව කරගෙන යන්න දූෂණ විරෝධය පමණක් ප්‍රමාණවත් නැහැ. අදත් රට තියෙන්නේ රනිල් වික්‍රමසිංහ අවසන් කළ තැන. මේ ආණ්ඩුව බලයට ඇවිත් මාස 15ක් පමණ ගත වුණත් කළ වැඩක් නැහැ. මේ කාලය තුළ කළ එකම දේ තමයි විදේශ ණය ගෙවීම නතර ර ගැනීම. නමුත් අපි 2028 සිට යළි විදේශ ණය ගෙවීම ආරම්භ කළ යුතුයි. නමුත් ඒක පහසු ඉලක්කයක්, අභියෝගයක් නෙමෙයි. ආර්ථික අර්බුදය හේතු වුණේ මොකක්ද ?. ඩොලර් නැහැ, රුපියල් නැහැ. ගත්ත ණය ගෙවා ගන්න බැහැ. ඒක නිසා තමයි ආර්ථික අර්බුදය ආවේ. මේ ආණ්ඩුව එක දෙයක් කළා. ඒ තමයි රුපියල් හොයා ගත්තා. ඒත් මේ රුපියල් හොයා ගත්තේ කොහොමද ?, ඩොලර් දීලා වාහන ලක්ෂයක් විතර ආනයනය කරලා, ඒ ආනයන බදු වලින් තමයි මේ රුපියල් හොයා ගත්තේ. ඩොලර් දීලා වාහන ආනයනය කරලා රුපියල් ඉතිරි කර ගත්තා.

ඉතිං මේක යහපත් තත්ත්වයක් නෙමෙයි ද ?

එහෙම වෙන්නේ කොහොමද ? ආණ්ඩුව කියන රුපියල් ට්‍රිලියනය උපයා ගත්තේ ඩොලර් වියදම් කරලා වාහන ආනයනය කළ නිසයි. මේ වගේ වැඩක් ලෝකේ කිසිම රටක් කරන්නේ නැහැ. තමන්ගේ දේශීය මුදල් නැති වෙලා බංකලොත් වුණ එකම රට ලංකාව. මේක අද ඊයේ ඇති වුණ දෙයක් නෙමෙයි, 1977 සිට වර්ධනය වුණ තත්ත්වයක්, දීර්ඝ කාලයක් පුරා සිදුවුණ වැරදි බදු ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාකයක්. අන්තිමට ගෝඨාභය තමයි මේකට කර ගැහුවේ. මම ඇමැතිවරයෙක් ලෙස හිටිය කාලේ දිගින් දිගටම අවධාරණය කළ ‘බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න’ කියලා. කොහොම වුණත් මේ වැරදි තීන්දුව නිසා අද ආණ්ඩුව හිර වෙලා ඉන්නේ. කිසිම වැඩක් කර ගන්න බැහැ.

ඔබ දීර්ඝ කාලයක් වැඩ බලන විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනය ගැන ඉතාම පුළුල් අවබෝධයක් ඔබට තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ගැන ඔබට මොකද හිතෙන්නේ ?

විදේශ සම්බන්ධතා ගැන, ජාත්‍යන්තර දේශපාලන ගැන කිසිම අවබෝධයක් මේ ආණ්ඩුවට නැහැ. ජාත්‍යන්තර දේශපාලනය ගැන නිසි අවබෝධයකින් තොර කිසිම රටකට පැවැත්මක් නැහැ, රැකෙන්න බැහැ. ඒකට හේතුව තමයි ලෝක ආර්ථිකය අද ගෝලීයකරණය වෙලා. ඒ ගෝලීය ආර්ථිකය තුළ තමයි අපේ ආර්ථිකය තියෙන්නේ. භූ දේශපාලන සාධක, ජාත්‍යන්තර දේශපාලන වර්ධනයන්, ප්‍රවණතා පිළිබඳ ප්‍රමාණවත්  දැනුමක් නැතිව අද රටක් පාලනය කරන්න බැහැ. මේ තත්ත්වය තුළ අද වත්මන් ආණ්ඩුව හිරවෙලා.

ඔබ කොහොමද මේ ආකාරයෙන් තර්ක කරන්නේ ?, උදාහරණයකින් මේක පැහැදිලි කරන්න පුළුවන්ද ?

ඉතාම පැහැදිලිව ඒක කරන්න පුළුවන්. ඔබට මතක ඇති අනුර කුමාර දිසානායක බලයට පත් වුණ මුල්ම කාලයේ, 2024 ඔක්තෝබර් මාසයේ රුසියාවේ දී බ්‍රික්ස් සමුළුව පැවැත් වුණා. අනුර කුමාර දිවුරුම් දුන්නේ 2024 සැප්තැම්බර් 23 වැනිදා. ඇත්තටම මේ සමුළුවට යන්න හිටියේ රනිල් වික්‍රමසිංහ. නමුත් ආණ්ඩුව වෙනස් වුණා. රුසියානු ජනාධිපති පුටින් බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න කියලා අනුර කුමාරට පුද්ගලිකව ආරාධනා කළා. මේ සමුළුවට රටවල් 36ක් සහභාගී වුණා. ඒ අතර චීන ජනාධිපති, ඉන්දීය අගමැති  ඇතුළු රාජ්‍ය නායකයින් හිටියා. ඒ සියලුම දෙනා ඒ ඒ රටවල් වල ඉහළම පාලකයින්. නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සමුළුවට ගියේ නැහැ. අපේ නියෝජිතවරිය ලෙස විදේශ අමාත්‍යාංශ ලේකම්වරිය සහභාගී වුණා. බ්‍රික්ස් සමුළුවට සහභාගී වූ රටවල් 36න් රාජ්‍ය නායකයෙක් හෝ ඇමැතිවරයෙක් නොවන එකම නියෝජනය සිදු වුණේ අපෙන්.

ඔබ දකින ආකාරයට මෙහි අයහපත් ප්‍රතිඵල තිබුණා ද ?

ඔව්, බ්‍රික්ස් සංවිධානය අපට එහි සාමාජිකත්වය දෙන්න තීරණය කරලා තිබුණා. මොකද අපි  බැංඩුන් සංවිධානයේ ආරම්භක නායකයෙක්, නොබැඳ සමුළුවේ ආරම්භක සාමාජිකයෙක් පමණක් නොවෙයි එහි නායකත්වය ගත් රටක්. ඒත් අනුර කුමාර මේ සමුළුවට ගියේ නැහැ. නමුත් රුසියාව හිතුවේ මොක්ද ?, ශ්‍රී ලංකාවේ දැන් පත්වෙලා තියෙන්නේ වමට බර දේශපාලන පක්ෂයක්, ඒ නිසා ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයට පැණලා එයි කියලා පුටින් හිතන්න ඇති.

ඔබ හිතන ආකාරයට අනුර කුමාර දිසානායක ඇයි බ්‍රික්ස් සමුළුවට නොගියේ ?

මම හිතන්නේ ඇමෙරිකාවට බයේ තමයි මේ සමුළුවට නොගියේ. වෙන කිසිම හේතුවක් නැහැ.

ඔබ හිතන ආකාරයට වර්තමාන ජාත්‍යන්තර ප්‍රවණතා නිර්මාණය වෙන්නේ කොහොමද ?, ඒක ලංකාවට වාසිදායක ද ?

අපි බලාගෙන ඉන්දැද්දී බහු ධ්‍රැවීය ලෝකයක් නිර්මාණය වෙමින් තිබෙනවා. අද තියෙන්නේ පැරණි ලෝකය නෙමෙයි. චීනය තමයි ගෝලීය බලවතා ලෙස ඉදිරියට එන්නේ. ආසියාව තමයි ලෝක ආර්ථිකයේ කේන්ද්‍රය, පෙර ගමන්කරු වෙන්නේ. නමුත් අපේ ආර්ථිකය, අපනයනය ගැට ගහලා තියෙන්නේ ගෝලීය උතුරත් එක්ක. නමුත් ගෝලීය උතුර ලෝක ජනගහනයෙන් 15%ක් සහ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක් පමණයි නියෝජනය කරන්නේ. 85%ක් තියෙන්නේ ගෝලීය  උතුරෙන් පිට ගෝලීය දකුණේ. ඉතිං අපි ඉන්න ඔ්නෑ කාත් එක්ක ද ? 35%ත් එක්ක ද, 85%ත් එක්ක ද ?. එහෙම නැතිනම් ලෝක ජනගහනයෙන් 4%ක් ඉන්න ඇමෙරිකාවත් එක්ක ද ?. මේක තේරුම් ගන්න බැරිනම් ඉදිරියට යාමක් නැහැ.

දිට්වා සුළි කුණාටුව හමුවේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය විපක්ෂය දැඩිව විවේචනය කරනවා. මෙවැනි ස්වභාවික ව්‍යසන සම්බන්ධයෙන් ඔබටත් අත්දැකීම් ඇති නේද ?

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයින් ආණ්ඩුව දැනුවත් කළේ නොවැම්බර් 12 වැනිදා. නමුත් ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැහැ. ප්‍රමාණවත් කාලයක් තිබිලත් ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැහැ. 2004 සුනාමිය සම්බන්ධ අත්දැකීම් අපට තියෙනවා. සුනාමියෙන් පස්සේ අපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඉතාම ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණ ස්ථාපිත කළා. නමුත් මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන කොට පෙරහර ගිහින් ඉවරයි. රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන නායකත්වයක් ලැබුණේ නැහැ.

ඔබ හිතන ආකාරයට මෙවැනි තත්ත්වයක් ඇති වුණේ ඇයි ? විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල වුණේ ඇයි ?

ඉතාම පැහැදිලිව ජනාධිපති ලේකම්වරයාට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක් නැහැ. ඔහු කිසිමදාක රාජ්‍ය පරිපාලන සේවයේ කටයුතු කරලා නැහැ, දේශපාලන අවබෝධයක් නැහැ, මෙවැනි ස්වභාවික ව්‍යසනවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධ අත්දැකීම් නැහැ. ඇත්තටම මෙවැනි අවස්ථාවක අවශ්‍ය සියලුම දේවල් ජනාධිපති ලේකම් තමයි කරන්නේ. පී.බී. ජයසුන්දර, ලලිත් වීරතුංග, බාලපටබැදි, බ්‍රැඩ්මන් වීරකෝන් ඉතාම කාර්යක්ෂමව අර්බුද අවස්ථාවලදී කටයුතු කළා. ඒ ඔවුන් සතු පරිපාලන දැනුම, අත්දැකීම් සහ දේශපාලන අවබෝධය නිසා. ඒත් වත්මන් ජනාධිපති ලේකම්වරයාට මේ කිසිම දෙයක් නැහැ. තවත් කාරණයක් තියෙනවා, ජනාධිපති ලේකම්වරයාට අත්දැකීම් නැහැ කියමුකෝ. නමුත් අත්දැකීම් තියෙන හිටපු ඇමැතිවරුන් තුන් දෙනෙක් මේ ආණ්ඩුවේ ඉන්නවානේ. අනුර කුමාර දිසානායක, ලාල් කාන්ත සහ විජිත හේරත් අපිත් එක්ක චන්ද්‍රිකාගේ කැබිනට් එකේ හිටියනේ.

ඔබ හිතන ආකාරයට වත්මන් මාළිමාව ආණ්ඩුව ‘වමට බර’ ආණ්ඩුවක් ද ?

මේක වමට සිග්නල් දාලා දකුණට හරවපු ආණ්ඩුවක්.

ඔබගේ දැඩි විවේචනාත්මක අදහස් දැක්වීම අනුව අපට පේන්නේ ආණ්ඩුවට කිසිවක් වැරදී තිබෙන බවයි. ඔබ දකින ආකාරයට ආණ්ඩුවට වැරදුණා නම් එසේ වැරදුණේ කොතැනද ?

මේක කාරණා කිහිපයක් තිබෙනවා. ශක්තිමත් සහ නිරවුල් විදේශ ප්‍රතිපත්තියක් නොමැතිකම බරපතළ ගැටලුවක්. ජනතාවට ඇත්ත නොකීම (බලය ලැබුණට පස්සෙවත් ඇත්ත කියන්න ඔ්නෑනේ), ආර්ථිකය සම්බන්ධයෙන් මූලික තීරණ නොගැනීම සහ ප්‍රතිපත්තියක් නොමැතිකම, සැලසුම්කරණයක් නොතිබීම කියන කාරණා හේතුවෙන් මේ ආණ්ඩුව යම්කිසි අර්බුදයකට ලක්ව තිබෙනවා.

මේ තත්ත්වය හමුවේ 2028 දී අපට ණය ආපසු ගෙවන්න පුළුවන් වෙයි ද ?

2028 දී විදේශ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතුයි. නමුත් ආණ්ඩුව මේ වන විට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් යළි ණය ලබා ගනිමින් සිටිනවා. තියෙන ණය ගෙවා ගන්න නොහැකි නම් ඇයි තවත් ණය ගන්නේ. 2028 වෙන කොට මේක පාලනය කර ගන්න නොහැකි තැනට පත්වෙනවා.

ජාත්‍යන්තර දේශපාලනය තුළ මේ වන විට කුමක් ද වෙන්නේ ?, ඇමෙරිකාව මේ කටයුතු කරන ආකාරය ගැන ඔබට යම් අදහසක් තිබෙනවා ද ?

වර්තමානය වන විට ලෝක රටාව වෙනස් වෙමින් තිබෙනවා. ඇමෙරිකාව කේන්ද්‍ර කරගත්, ඇමෙරිකාවේ නායකත්වය පිළිගත්  ඒක ධ්‍රැවීය ලෝක රටාවෙන් මිදී බහු ධ්‍රැවීය ලෝකයක් වෙත අපි ගමන් කරමින් සිටිනවා. ඒ වගේම  ගෝලීය ආර්ථිකයත් ‘කලාපීයකරණය’ වෙමින් තිබෙනවා. ආසියානු කලාපය, අප්‍රිකානු කලාපය, යුරෝපා කලාපය ආදි වශයෙන් දැඩි කලාපීයකරණයක් සිදුවෙනවා. මේ කලාපීයකරණය තුළත් අනු කලාපීයකරණයක් සිදුවෙනවා. ආසියානු කලාපය තුළ, අප්‍රිකානු කලාපය තුළ මෙය වේගයෙන් හා ශක්තිමත් ලෙස සිදුවෙනවා. මේ කලාප අතර ආර්ථික හා දේශපාලන ඒකාග්‍රතාවක් ඇතිවෙනවා. ආර්ථික හා දේශපාලන සහයෝගීතාව පුළුල් වෙනවා. දකුණු ආසියාව තුළ පමණයි කලාපීය බෙදීම් තියෙන්නේ. අද තුන්වෙනි ලෝකයක් නැහැ. දැන් තියෙන්නේ ‘ගෝලීය දකුණ’ කියන සංකල්පය, ඒ කියන්නේ යටත්විජිතකරණයට ලක්ව නිදහස දිනා ගත් රටවල්. ඒ වගේම වර්තමානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වේගයෙන් දුර්වල වෙනවා. තව අවුරුදු පහක් ගත වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අභාවයට පත් වෙනවා. මේ තත්ත්වය හමුවේ ඇමෙරිකාව දක්වන ප්‍රතිචාරය තමයි මේ පේන්නේ.

මේ ගෝලීය ප්‍රවණතා හමුවේ ලංකාව ස්ථානගත විය යුත්තේ කොතැනද ?

අපි සියලුම රටවල් සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යා යුතුයි. නමුත් අපි දැනගත යුතුයි අපි ඉන්නේ ගෝලීය දකුණේ කියලා.  යටත්විජිතකරණයට ලක් වුණ ගෝලීය දකුණේ රටවල් 10-12ක් හැර අනෙක් සියලුම රටවල් තාම එකතැන පල්වෙනවා. ඒ දියුණු වුණ රටවල් බහුතරය අද බ්‍රික්ස් සංවිධානය නියෝජනය කරනවා. බ්‍රික්ස් සංවිධානය තමයි ගෝලීය දකුණේ රටවල් ගොඩගන්න හදන්නේ. අපි මේ වෙනස තේරුම් ගත යුතුයි. මේ වන විට ගෝලීය භූ දේශපාලනය පමණක් නොවෙයි ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය පවා වෙනස් වෙමින් තිබෙනවා, ඩොලරයේ ආධිපත්‍ය දුර්වල වෙමින් තිබෙනවා. මේ කාරණා තේරුම් ගෙන තමයි අපි අපේ ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය සකස් කළ යුත්තේ.

මාස නමයකට ආසන්න කාලයක් පුරා විගණකාධිපති පත් කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වෙලා තියෙනවා, ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ආණ්ඩුවට තිබෙන්නේ සතුරු ආකල්පයක් බව විපක්ෂය කියනවා. ඔබ හිතන ආකාරයට මේ සියල්ල වෙනුවෙන් විපක්ෂයේ සිටියදී පෙනී සිටි පක්ෂයක් ඇයි අද මෙවැනි තත්ත්වයකට පත් වුණේ ?

ස්ථිර විගණකාධිපතිවරයෙක් පත්කර ගැනීමට ආණ්ඩුව කල් මරන්නේ තව සති කිහිපයකින් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ සාමාජිකයින් තිදෙනාගේ නිල කාලය අවසන් වෙන නිසා. ඊට පස්සේ ආණ්ඩුවට කැමැති තිදෙනෙක් ව්‍යවස්ථාදායක සභාවට පත්කර ගන්න පුළුවන්. ඊට පස්සේ ජනාධිපතිවරයාට කැමැති නමක් සම්මත කර ගන්න පුළුවන්. අනෙක් කාරණය තමයි විපක්ෂයේ සිටිය දී මොන කතා කිව්වත් රටක් පාලනය කරන්න පුළුවන් ශක්තියක්, දැක්මක් මාළිමාව ආණ්ඩුවට නැහැ. විපක්ෂය සමඟ කිසිම සහජීවනයකට ආණ්ඩුව කැමැති නැහැ. නමුත් ආණ්ඩුව සාර්ථක වෙන්න නම් විපක්ෂය සමඟ හොඳ සංවාදයක් තිබිය යුතුයි. ආණ්ඩුව දේශපාලන යථාර්ථය තේරුම් ගත යුතුයි. ජනාධිපතිවරණයේ දී අනුර කුමාරට  ලැබුණේ 43%යි. 57%ක් විරුද්ධයි. මේ තත්ත්වය තුළ විපක්ෂය සමඟ විශේෂයෙන්ම සංවාදයක් තිබිය යුතුයි. ඩී.ඒස්ගේ කාලේ සිට පසුගිය රනිල් වික්‍රමසිංහ පාලනය දක්වා ජාතික ආපදාවකදී විපක්ෂය එක පිළකට ආවා. නමුත් අද එවැනි සාධනීය තත්ත්වයක් නැහැ. මේ ආණ්ඩුවට වෘත්තීමයභාවයක් නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ඇමැති මණ්ඩලයේ නම් කීයද අපි දන්නේ. මම නම් තුන හතරකට වඩා දන්නේ නැහැ.

වාමාංශිකයින්ට ආගම අබිං කියන කතාව ඇත්තද ?

මාක්ස් මේ කතාව කිව්වේ යුරෝපයේ තිබුණ තත්ත්වයට අදාළවයි. නමුත් බෞද්ධගාම කියන්නේ දර්ශනයක්.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, පළාත් සභා මැතිවරණය යථාර්ථයක් වෙයිද ?

ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ.

ලංකාව මුහුණ දෙන සමස්ත ආර්ථික හා දේශපාලන අර්බුදය ගැන ඔබේ සරලම පැහැදිලි කිරීම කුමක් ද ?

අපේ රටේ තියෙන්නේ නායකත්ව අර්බුදයක්. වම ගත්තත්, දකුණ ගත්තත්, මැද ගත්තත් මේ තුනේම නායකත්ව අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය නිසාම තමයි ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නේ. දැන් එතනත් නායකත්ව අර්බුදයක් තියෙනවා. මධ්‍ය වාමාංශික ආණ්ඩුවක් වෙනුවෙන් තමයි අපි කටයුතු කළ යුත්‌තේ. අ‌පේ ගැළවීම තියෙන්නේ මැද වම තුළයි. ඒ වගේම අපි ගෝලීය දකුණ තුළ ස්ථානගත විය යුතුයි.

සටහන – භාතිය බරුකන්ද

රතුඉර පුවත්පතේ 2026 ජනවාරී 18 කලාපයේ ප්‍රකාහයට පත්කරන ලද ලිපියකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website