සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 257 වැනි කතිකාව ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත ඉඟුරු දී මිරිස් ගැනීමක් ද ?’ යන තේමාව යටතේ පසුගිය දා පැවැත් වුණේය. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ, නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන, නීතිඥ මාර්ක් ෂූබට් සහ මහාචාර්ය රොහන් සමරජීව සහභාගී වූ අතර නීතිඥ ගයත්‍රී නවරත්න විසින් කතිකාව මෙහෙයවනු ලැබුවා. එම කතිකාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පනත වන්නේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතයි. තාවකාලික විධිවිධාන යටතේ හඳුන්වා දෙන ලද මෙම පනත 1982 අංක 10 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සම්මත විය. නමුත් මෛම පනතෙහි පවතින විවිධ දුර්වලතා හේතුවෙන් සහ එහි පවතින මර්ධනකාරී තත්ත්වයන් හේතුවෙන් මෙම පනත අවස්ථා කිහිපයක දී සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් විය. ඒ අතර 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ. (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත ද විය.
කෙසේ වෙතත් සිවිල් සමාජයෙන් ද ඇතුළු පාර්ශ්ව ගණනාවකින් එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් මේ දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට නොහැකි වීම විශේෂත්වයකි.
නමුත් වත්මන් ජාතික ජන බලවේගය රජය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)පනතට ආදේශකයක් ලෙස ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත’ නමින් අලුත් කෙටුම්පතක් සම්පාදනය කර ඇති අතර මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ද මේ වන විට පියවර ගෙන ඇත. 2026 වසරේ පෙබරවාරි 28 වන දිනට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා පසුගිය දා නිවේදනය කළේය.
ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්රමුඛ කමිටුවක් විසින් මෙම පනත් කෙටුම්පත සම්පාදනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් ලබා ගැනීමට ද මෙම කමිටුව පියවර ගත්තේය. විශේෂයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ද සිය ස්ථාවරය කමිටුවට ඉදිරිපත් කළේය.
මේ පසුබිම තුළ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත ඉඟුරු දී මිරිස් ගැනීමක් ද ?’ යන්න සම්බන්ධයෙන් පුළුල් සමාජ සංවාදයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අප හමුවේ පවතින බව 257 වැනි කතිකාවට ආරම්භයක් ගනිමින් නීතිඥ ගයත්‍රී නවරත්න පැවසුවාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ කිසිම පනතක් ලංකාවට අවශ්‍ය නැහැ – නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන – ප්‍රධාන කර්තෘ, අනිද්දා පුවත්පත
1979 දී තාවකාලික විධිවිධාන පනතක් ලෙස ඉදිරිපත් කරන ලද 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වසර 46ක පමණ කාලයක් පුරා රටේ සාමාන්‍ය නීතියේ කොටසක් බවට පත්ව ඇත. 2018 සහ 2022 දී මෙම පනත සංශෝධනය කිරීම සඳහා උත්සාහා කළ ද එම උත්සාහයන් දෙකම අසාර්ථක විය. මෙහි ප්‍රතිඵලය වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වඩා වඩාත් ශක්තිමත් වීමය. එය කොතරම් පුළුල් ලෙස භාවිතා කරන්නේ ද යත් සංවිධානාත්මක අපරාධකරුවන් දීර්ඝ කාලයක් රැඳවුම්භාරයේ තබා ගන්නේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කිරීම මඟිනි. එපමණක් නොව ආණ්ඩුවේ අවශ්‍යතාව මත වෙනත් අරමුණු සහ අවශ්‍යතා වෙනුවෙන් ද දීර්ඝ කාලයක් පුරා මේ පනත යොදා ගෙන ඇතැයි, කතිකාවට ආරම්භයක් ගනිමින් නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන පෙන්වා දුන්නේය.
- හරය රැක ගෙන සිදුකළ සුළු සංශෝධන
“නමුත් අපට අවශ්‍ය වුණේ ජාත්‍යන්තර මානව හිමිකම් ප්රමිතීන්වලට ගැළපෙන ආකාරයට මේ පනත සංශෝධනය කිරීම හෝ අලුතින් පනතක් හඳුන්වා දීමයි. නමුත් පසුගිය කාලයේ මේ පනත සංශෝධනය කිරීමට ඉදිරිපත් කළ සංශෝධන දෙස බලන විට අපට පෙනුණේ කුමක් ද ? මුල් පනතේ තිබුණ යම් යම් අන්තර්ගතයන් සුළුවෙන් සංශෝධනය කරලා වෙනත් පැත්තකින් යළිත් පනත ශක්තිමත් කරලා, තද කරලා තිබුණා. එසේ නොමැති නම් යම් යම් විධිවිධානවලට යම් යම් තුලනයන් කරන්න උත්සාහා කරලා තිබුණා. ඒ කියන්නේ මූලික කාරණය එසේම තියා ගෙන ඒකට පොඩි පොඩි වෙනස්කම් කළ ස්වභාවයක් තමයි තිබුණේ. මගේ අදහස තමයි, හරයාත්මක හා කාර්යපටිපාටිමය වශයෙන් මේක සලකා බැලිය යුතුයි. හරයාත්මක වශයෙන් සලකා බැලීම යන්නෙන් අදහස් කරන්නේ, අපට ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් මෙවැනි විශේෂ නීතියක් අවශද ? කියන එකයි. මේ ප්‍රශ්නයට මගේ පිළිතුර ඉතාම පැහැදිලියි, ‘නැහැ’ කියන එක ත තමයි මගේ පිළිතුර. මේ පිළිතුර අනුව කාර්යපටිපාටිමය වශයෙන් එහි අදාළත්වය සාකච්ඡා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් කාර්යපටිපාටිමය වශයෙන් මේ ගැන උනන්දු වෙනවා නම් මේ පනතේ තියෙන හොඳ සහ නරක සාකච්ඡා කළ යුතුයි” ජනරංජන සිය ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේය.
මෙහිදී ඔහු යළිත් අවධාරණය කළේ හරයාත්මක වශයෙන් ගත්විට මෙවැනි පනතක් අනවශ්‍ය බව තමාගේ පැහැදිලි ස්ථාවරය බවයි.
- හදිසි නීති රේගුලාසි
තම ස්ථාවරය සනාථ කිරීම වෙනුවෙන් ඔහු කාරණා කිහිපයක් ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව, රටේ සාමාන්‍ය ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට නොහැකි නම් බලාත්මක වන නීතියක් තිබේ. ඒ මජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවනු ලබන හදිසි නීතියයි. නමුත් හදිසි නීතිය සම්බන්ධයෙන් මෙරට ජනතාව සතු අත්දැකීම් යහපත් නැත. හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට එය ස්ථානගත වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහළින් සහ රටේ අනෙකුත් සෑම නීතියකටම වඩා ඉහළිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් හදිසි නීති රේගුලාසිවලට වඩා ඉහළින් තිබීමය. එසේම අධිකරණය හමුවේ හදිසි නීති රේගුලාසි අභියෝගයට ලක් කළ හැකිය.
හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණක් වන්නේ පාර්ලිමේන්තුවේ සංවරණයට හා තුලනයට යටත්ව හදිසි නීතිය පවත්වා ගෙන යාමට සිදුවීමය. මෙහි අදහස වන්නේ ජනාධිපතිවරයාගේ ‘තනි අභිමතය’ පරිදි හදිසි නීති රෙගුලාසි පවත්වා ගෙන යාමට නොහැකි වීමය.
“හදිසි නීති රෙගුලාසි බලවත් බව ඇත්ත, අපි ඒක දැකලා තියෙනවා. නමුත් හදිසි නීතිය හැමදාම, දීර්ඝ කාලයක් පවත්වා ගෙන යන්න බැහැ. එවැනි තත්ත්වයක් ආණ්ඩුවකට දේශපාලනික වශයෙන් යහපත් නැති බව අපි පරණ අත්දැකීම්වලින් දන්නවා. නමුත් හදිසි නීතිය සම්බන්ධයෙන් යම්කිසි පාලන බලයක් පාර්ලිමේන්තුවට තිබුණත් සංවරණය සහ තුලනයට යටත්ව ජනාධිපතිවරයා නීති පනවන්න පුළුවන්කම තිබුණත් ඒක තාවකාලිකයි, සීමා සහිතයි” හදිසි නීති රෙගුලාසි වල අදාළත්වය සහ එය පවත්වා ගෙන යාමේ අභියෝග සහ ගැටලු ගැන පැහැදිලි කරමින් අනිද්දා කතුවරයා පෙන්වා දුන්නේය.
- ත්‍රස්තවාදය වැළක්වීමේ පනත
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව පවත්වා ගෙන යාම සාධාරණීකරණ කරන්නේ ‘යම්කිසි අවස්ථාවක ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වුණොත් එය වළක්වා ගැනීමට’ එවැනි බලවත් පනත් අවශ්‍ය බවට වන පූර්ව නිගමනය මත වන අතර පනතට සංශෝධන ගෙන එන්නේ ද මෙම පූර්ව නිගමනය පදනමේ තබා ගෙනය.
“මේකට හොඳම උදාහරණය තමයි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව ජාතික ජන බලවේගය තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. නමුත් බලයට ආ පසු මේ පනත වෙනුවෙන් අලුත් පනත් ගේන්නේ කොහොමද කියලා ඔවුන්ට කල්පනා කරන්න සිදුවෙලා තිබෙනවා. ඒකෙන්ම පේනවා රාජ්‍ය බලය අල්ලා ගැනීම බලාපොරොත්තු වෙන පක්ෂයක්, කණ්ඩායමක් මේ බලය රැක ගැනීමේ වැදගත්කම දකින ආකාරය. මේක තමයි වෙන්න පුළුවන් උපරිම දේ. මේ පනත අහෝසි කරනවා කියලා මීට පෙර කිසිම පක්ෂයක් ලිඛිත සහතිකයක් දීලා නැහැ. නමුත් ජාතික ජන බලවේගය ඒ පොරොන්දුව දුන්නා. නමුත් ආණ්ඩු බලය දිනා ගත් විට මේ පනත අහෝසි කිරීමේ අභියෝගයට උත්ප්රාසාත්මක ලෙස ඔවුන්ටත් මුහුණ දීමට සිදුවෙලා තියෙනවා. මේ කාරය සම්බන්ධයෙන් මගේ පුද්ගලික අදහස තමයි, නැවත ත්රස්තවාදයක් ඇති වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ආණ්ඩුවක කාර්යභාරය විය යුතුයි. නමුත් (අවාසනාවට) අපි ඒ කතාව පැත්තකින් තියලා යළි ත්රස්තවාදයක් ආරම්භ වුණොත් ඒකට මුහුණ දෙන්න ආණ්ඩුව ශක්තිමත් කරන්නේ කොහොමද කියන තර්කය තමයි අ අපි බොහෝ විට ඉදිරිපත් කරන්නේ. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මම යෝජනා කරන්නේ සහ මගේ ප්‍රවේශය තමයි ත්‍රස්තවාදය සම්බන්ධ විශේෂ නීතියක් අවශ්‍ය නැහැ. මේකට විකල්පයක් ලෙස හදිසි නීතිය පාවිච්චි කරන්න පුළුවන්. එසේම ත්‍රස්තවාදී ක්‍රියාවලට අදාළ රටේ වෙනත් නීති තියෙනවා. අපට අවශ්‍ය නම් ඒ ඒ අවස්ථාවට අදාළ වන පරිදි මෙකී නීති පාවිච්චි කරන්න පුළුවන්, අවශ්‍ය නම් ඒ නීති සංශෝධනය කර ගන්නත් පුළුවන්. මේ ආකාරයෙන් කටයුතු කළොත් අපට මෙවැනි පනතක් අවශ්‍ය වන්නේ නැහැ” ජනරංජන දීර්ඝ ලෙස සිය අදහස තහවුරු කරමින් පැහැදිලි කළේය.
- විධායකයට අති විශාල බලයක්
මෙහිදී තෙවැනි කාරණය ලෙස ජනරංජන පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ ජනාධිපතිවරයාට, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට, පොලිසිය සහ හමුදාවට ‘අති විශාල’ බලයක් පවරා තිබීමය. මේ හරහා විධායකය ‘බරපතළ’ ලෙස ශක්තිමත් වන බව පෙන්වා දුන් ජනරංජන තවත් වැදගත් කරුණක් ඉස්මතු කළේය.
“කවුද මේවා තීන්දු කරන්නේ ?, ඒක තීන්දු කරන්නේ සම්පූර්ණයෙන්ම විධායකය. අනෙක් අතට මේවා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුළුවන් වැරදි. මේ පනතේ ඒ බව පැහැදිලිව කියනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ ආකාරයෙන් බලන විට විධායක ඉතාම බලවත් කරලා, විධායකයට ඉතාම බලවත් බලතල ප්‍රමාණයක් දීම සිදුවෙනවා. දැන් අපි කතා කරන්නේ ආණ්ඩුව හඳුන්වා දීමට යන පනත පරණ පනතට වඩා අඩු ද , ඒක වෙනස් වෙලා තියෙන්නේ කොහොම ද ?, කියන කාර්යපටිපාටිමය කාරණා. මගේ අදහස නම් අපි ඇත්ත වශයෙන්ම පෙනී සිටීමට අවශ්‍ය, මේ පනත සංශෝධනය කරනවාට වඩා, එසේ නොමැති නම් වෙන පනතක් ගේන එක ගැන නෙමෙයි, ‘අපට ත්‍රස්තවාදය පිළිබඳ වෙනම පනතක් අවශ්‍ය ද, නැද්ද ?’ කියන කාරණයයි. මේකට විකල්පයක් ලෙස අවශ්‍ය නම් හදිසි නීති රෙගුලාසි හෝ වෙනත් නීති භාවිතයට ගන්න පුළුවන්. අලුත් පනත යටතේ මෙවැනි නීති සදාකාලික නීති කෘත්‍යයක් බවට පත් කරනවා. එසේ පත් කරලා තමන් රිසි රිසි ලෙස කටයුතු කරන්න විධායකයට සම්පූර්ණ බලය දෙනවා. මේවට සංවරණය තිබෙනවා, තුලනය තිබෙනවා. අපට පේනවා මහේස්ත්‍රාත්වරුන්ට මේ මැදිහත් වීම් කරන්න පුළුවන්. නමුත් මගේ පොදු අදහස නම් මහේස්ත්‍රාත්වරුන්ට හෝ අධිකරණයට මේවට යොදලා තියෙන සංවරණවලින් කරන්න පුළුවන් විධායකයට තිබෙන අති විශාල අත්තනෝමතික බලතලවල ‘සැර’ ටිකක් බාල කරන්න පමණයි, යම් ආකාරයක මැදිහත්වීමක් කිරීම පමණයි. සමස්තයක් ලෙස මේ මුළු පනතම (පසුගිය පනත් කෙටුම්පත් සේම) විධායක සතු බලතල පවත්වා ගෙන යාමට තමයි උත්සාහා ගන්නේ. මානව අයිතිවාසිකම් සහ දේශපාලන ප්රජාතන්ත්රවාදය පැත්තෙන් සලකා බලන විට ‘මෙවැනි පනතක් ලංකාවට අවශ්‍ය නොවන බව තමයි’ මගේ යෝජනාව”. අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ, කේ.ඩබ්ලිව්. ජනරංජන පැවසුවේ ය.

පොතේ නීතිය සහ ප්‍රායෝගික භාවිතය අතර බරපතළ විෂමතා තිබෙනවා – නීතිඥ මාර්ක් ෂූබට්
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (විශේෂ විධිවිධාන) පනත සහ වත්මන් ආණ්ඩුව විසින් කෙටුම්පත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත අතර පවතින වෙනස්කම් සහ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී ප්‍රධාන කරුණු තුනක් වෙත අවධානය යොමු කළ හැකිය.
- පනත් දෙකේ වෙනස වටහා ගනිමු
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත නම් වත්මන් පනත් කෙටුම්පතේ නිර්වචනය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සාපේක්ෂව වත්මන් පනත් කෙටුම්පතේ ඇති නිර්වචනය වඩාත් පුළුල්ය. ‘ත්‍රස්තවාදය’ යන්න නිර්වචනය කර ඇති මෙහි 03 වැනි වගන්තිය දෙස අවධානය යොමු කළහොත් මේ තත්ත්වය පහසුවෙන් වටහා ගත හැකිය. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ‘චේතනාව’ ගැන සැලකිලිමත් නොවන නමුත් නව පනත ඒ ගැන සැලකිලිමත් වීම ද විශේෂත්වයකි. මෙහිදී වරදක් බවට පත්කර ඇත්තේ ක්‍රියාව නොව ප්රතිවිපාකය වීම අවධානයට ගත යුතු කරුණකි. මෙය වඩාත් පුළුල් නිර්වචනයක් හෙයින් ‘වැරැද්ද’ යන්න කිසිසේත් පැහැදිලි නැත. මෙය වඩාත් භයානක වන්නේ මේ හේතුව නිසාය. උදාහරණයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ‘නිශ්චිත වැරදි’ කිහිපයක් තිබේ. නමුත් නව පනතේ වැරදි වෙනුවට කතා කරන්නේ ප්‍රතිවිපාක ගැනය. පනතේ නිර්වචනය පුළුල් කිරීම සමඟ විධායකයට පුළුල් හා ශක්තිමත් බලතල පවරාදීමක් සිදුවීම ද නව පනතේ විශේෂත්වයකි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට බලය දී තිබුණේ පොලීසියට පමණය. එහිදී පොලිසියේ ඉහළ තනතුරකින් අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබුණේය. මෙහි අදහස වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඕනෑම පොලිස් නිලධාරියෙකුට යම්කිසි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම කළ නොහැකි බවයි. නමුත් යෝජිත පනත යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ බලය විශාල ලෙස පුළුල් කර තිබේ. මේ අනුව පොලිසියට, ත්‍රිවිධ හමුදාවට සහ වෙරළාරක්ෂක හමුදාවට කිසිම අනුමැතියකින් තොරව, ඕනෑම නිලධාරියෙකුට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබේ. මෙය බරපතළ තත්ත්වයක් වන අතර පොලිසිය ද ඇතුළු ආරක්ෂක අංශවල වත්මන් ක්‍රියාකාරීත්වය මෙම අවදානම තව දුරටත් තීව්රර කරයි. යෝජිත පනත සම්මත වුවහොත් ඉහත දක්වන ලද ආරක්ෂක අංශයක ඕනෑම නිලධාරියෙකුට පුද්ගලික පළිගැනීම් යටතේ යම්කිසි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ නිදහස හිමිවීම වඩාත් අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය කළ හැකිය. විධායකයට අති විශාල බලයක් ලබා දෙන මේ තත්ත්වය ‘ඉතාම භයානක’ තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බවක් ද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සාපේක්ෂව යෝජිත පනතේ රැඳවුම් නියෝග වල යම්කිසි සාධනීය වර්ධනයක් දැකගත හැකිය. නමුත් ප්රශ්නය වන්නේ මෙය පනතේ තිබුණ ද ප්‍රායෝගික භාවිතය තුළ අවභාවිත කිරීමට පහසු හැකියාවක් තිබීම ය.
- සුවිශේෂතා මොනවාද ?
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සහ යෝජිත පනත විශේෂතා කිහිපයකුත් තිබෙනවා. උදාහරණයක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ඇමැතිවරයා ඩී.ඕ. එක අත්සන් කළාට පස්සේ එක වලංගුවීම. නමුත් යෝජිත පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයා රැඳවුම් නියෝගයට අත්සන් කළාට ඒක බලාත්මක වෙන්නේ නැහැ. එය බලාත්මක වීමට නම් අදාළ පුද්ගලයා රැඳවුම් නියෝගය සමඟ අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මේ රැඳවුම් නියෝගයට බලය දෙන්නේ මහේස්ත්‍රාත්වරයා. මෙහි අදහස වන්නේ රැඳවුම් නියෝග නිකුත් කිරීමට විධායකයට පරම බලයක් නැහැ, එය ක්‍රියාත්මක වන්නේ මහේස්ත්රාත්වරයාගේ සහ අධිකරණයේ අධීක්ෂණය යටතේයි. නමුත් මෙය මේ ආකාරයෙන්, පනතේ සඳහන් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව අපිට අතීත උදාහරණ (හිජාස් හිස්බුල්ලා) තිබෙනවා. යෝජිත පනත යටතේත් ආරක්ෂ අමාත්‍යාංශ ලේකම්වරයා රැඳවුම් නියෝගයක් අත්සන් කරලා මහේස්ත්රාත්වරයාට යැව්වට පස්සේ කෙසේ ක්රියාකාරයි ද යන්න ප්‍රශ්නයක්” ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සහ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ සුවිශේෂතා පැහැදිලි කරමින් නීතිඥ මාර්ක් ෂූබට් පෙන්වා දුන්නේය.
- සංවරණය සහ තුලනය
මෙහිදී නීතිඥ ෂූබට් පෙන්වා දුන්නේ නීතියේ සඳහන් වන ආකාරයට වත්මන් පනත් කෙටුම්පත තුළ සංවරණයක් සහ තුලනයක් දැකගත හැකි බවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව සැකකරු විවෘත අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත් යෝජිත පනත යටතේ සැකකරු ඉදිරිපත් කළ යුතු වන්නේ විනිසුරුවරයාගේ වෙතය. නමුත් මෙම අවස්ථාවේ දී අදාළ සැකකරු අත්අඩංගුවට පත් නිලධාරියා නොසිටිය යුතු බව යෝජිත නීතියේ සඳහන් වේ.
“අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෝ ඊට පසු යම්කිසි පහරදීමක් හෝ වධහිංසාවක් සිදුවෙලා තිබෙනවා නම් විනිසුරුවරයාට අදාළ කාරණා කියන්න මේ අවස්ථාවේ සැකකරුට යම්තාක් දුරටක නිදහසක් තිබෙනවා. ඒ වගේම සැකකරුවේ ප්‍රකාශය හරහා විනිසුරුවරයාට (මහේස්ත්‍රාත්) යම්කිසි සැකයක් උද්ගත වුණොත් අදාළ සැකකරුව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට මහේස්ත්රාත්වරයාට බලය තිබෙනවා. ඒ වගේම ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සහ වෙනත් රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියෝග කිරීමේ බලයක් ද මහේස්ත්රාත්වරයාට තිබෙනවා“ නීතිඥ ෂූබට් තව දුරටත් පැහැදිලි කරමින් කීවේය.
යෝජිත පනතේ තිබෙන තවත් වැදගත් කාරණයක් වන්නේ ඇප ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා තිබීම ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ඇප ලබා දීමට නොහැකිය. යෝජිත පනත් කෙටුම්පතට අනුව රැඳවුම් නියෝගයක් නිකුත් කර නොමැති නම් අදාළ සැකකරුට ඇප ලබාදීමට මහේස්ත්රාත්වරයාට හැකිය.
“නීතිය එසේ වුණත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට ඇප ලබා දීමට බොහෝ මහේස්ත්‍රාත්වරු අකමැති බව අපි ප්‍රායෝගිකව දන්නවා. යෝජිත පනත් කෙටුම්පත අනුවත් මෙහි ප්‍රායෝගික වෙනසක් වෙයි කියලා අපට හිතන්න බැහැ“ නීතිඥ ෂූබට් සඳහන් කළේය.
- සාධනීය තත්ත්වයක් ?
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පසු, (රිමාන්ඩ් බන්ධනාගාරයේ හෝ රැඳවුම් නියෝග මත සිටින්නේ නම්) අත්අඩංගුවට ගත් දින සිට අවුරුදු දෙකක් ඇතුළත අදාළ පුද්ගලයාව නිදහස් කළ යුතු බව සඳහන් වේ. නීතිඥ ෂූබට් තර්ක කරන්නේ අතීත භාවිතයන් තුළ එවැනි තත්ත්වයක් වාර්තා නොවූ හෙයින් නව පනත අනුව ද එවැනි සාධනීය තත්ත්වයක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි බවයි.
“මෙහි තවත් නියෝගයක් තිබෙනවා, එහි සඳහන් වන ආකාරයට රැඳවුම් නියෝගයක් තිබුණොත් ඒක මාස දෙකෙන් දෙකට අලුත් කළ යුතුයි. එසේ කළ හැකි කාලය අවුරුද්දක් පමණයි. එසේම එය බලාත්මක කරන්නෙත් මහේස්ත්‍රාත්වරයාම තමයි. මෙහි අදහස වන්නේ රැඳවුම් නියෝගය නිකුත් කළ දිනයේ සිට වසරක කාලයක් ඇතුළත අදාළ සැකකරුව නිදහස් කළ යුතු බවයි. මේ අනුව අපට පැහැදිලි වෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත තුළ රැඳවුම් නියෝග සම්බන්ධයෙන් යම්තාක් දුරකට තුලනයන් අන්තර්ගත කර තිබෙන බව. නමුත් නීතියේ සඳහන් වන දේ සහ ප්‍රායෝගිකව සිදුවන දේ සමහර විට දෙකක් වෙන්න පුළුවන්” නීතිඥ මාර්ක් ෂූබට් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

යෝජිත පනත් කෙටුම්පත නිර්වචනය කර තිබෙන ආකාරය බිහිසුණු ගැටලු නිර්මාණය කළ හැකියි – මහාචාර්ය රොහාන් සමරජීව
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීමට යාමට විරුද්ධ විය යුතු නමුත්, එම විරුද්ධ වීම තුළ සිදුවිය හැකි දෙයක් වන්නේ පරණ පනත දිගටම පවත්වා ගෙන යාමය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගින් දිගටම, ඉතාම ‘නරක’ ලෙස අවභාවිත වෙමින් පවතින තත්ත්වයක් හමුවේ මෙම විරුද්ධ වීම ද යහපත් තත්ත්වයක් නොවේ.
“අපි මේ ගැන සිහියේ තබා ගෙන, අවධානයට ගෙන තමයි මේ වැඩේ කළ යුත්තේ” කතිකාවට ප්‍රවේශයක් ගනිමින් මහාචාර්ය රොහාන් සමරජීව කීවේය.
“මේ හේතුව මත තමයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි රියෙන්සි අර්සකුලරත්න කමිටුව ආරම්භ කළ අවස්ථාවේ දීම යෝජනා ඉදිරිපත් කළේ. නමුත් දැන් අපට විශාල කළකිරීමක් තිබෙනවා, අප කිව්ව කිසිම දෙයක් කමිටුව අවධානයට ගෙන නැහැ” මහාචාර්ය සමරජීව වැඩි දුරටත් සඳහන් කළේය.
- නිර්වචනයේ අවුල
මෙහිදී මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දුන්නේ ජාතික ජන බලවේගය රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත නිර්වචනය කළ ආකාරය ගැටලුකාරී බවයි.
මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් මහාචාර්ය රොහාන් සමරජීව මෙසේ ද සඳහන් කළේය, “මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන පනතට ඉතාම සාවද්‍ය පටු නිර්වචනයක් තිබුණා. නමුත් වත්මන් ආණ්ඩුව ඒක තවත් පුළුල් කරලා තිබෙනවා. ඒක යටතේ පුදුමාකාර දේවල් මේ නිර්වචනයට ඇතුළත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කඩ පේළියක් ඉදිරිපිට ආණ්ඩුවට විරුද්ධව බෝඩ් එකක් අල්ලන් හිටියත් ඒකත් මේක ඇතුළට වැටෙන්න පුළුවන්. රඹුක්කන සිද්ධිය මේකට ඉතාම හොඳ උදාහරණයක්. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යෝජනා කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ජෙරමි ග්රීන්ස්ටොක් කියන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා කිව්වා ‘ත්‍රස්තවාදය’ යනු කුමක්දැයි නිර්වචනය කර ගන්න බැහැ කියලා. මේ ප්‍රකාශය මේ වන විට පිළිගත් අදහසක් බවට පත්ව තිබෙනවා. මේ පසුබිම තුළ අපි (අමීෂා ටේගල් මහත්මිය) ලස්සන තර්කයක් ඉදිරිපත් කළා. අපි කිව්වේ, ‘ත්‍රස්තවාදය යන්න නිර්වචනය කළ නොහැකි දෙයක්. ඒත් 1970 දශකයේ සිට ලෝකය හඳුන්වා දුන් විශේෂ සංසිද්ධි, අලුත් දේවල් තිබෙනවා, (ගුවන් යානා කොල්ලකැම, පැහැර ගැනීම වැනි) මේ සිදුවීම්වලට අදාළ වෙන වෙනම පනත් තිබෙනවා. අපේ අදහස වුණේ නව පනත ‘විධිවිධාන පිළිබඳ පනතක් බවට පත් කරන්න කියලා. ඒකට නිර්වචනයක් නැහැ. අත්අඩංගුවට ගැනීම මේ පනත අනුව සිදු වුණත් චෝදනා ගොනු කිරීම තිබෙන්නේ වෙන පනතක. ඒ අනුව පනත් දෙක එකට කියවිය යුතු බව අපි කිව්වා. මම හිතන ආකාරයට ඒක තමයි අපට දෙන්න පුළුවන් විසඳුම. අපි මේකට විසඳුමක් දුන්නේ නැතිනම් ‘ඉඟුරුත් එක්ක / පරංගිත් එක්ක’ තමයි ජීවත් වෙන්න සිදුවෙන්නේ. පරංගිත් එක්ක ජීවත් වීම යහපත් තත්ත්වයක් නෙමෙයිනේ. ඒ නිසා පරංගි එළවන්න හොඳ ක්‍රමයක් සොයා ගත යුතුයි. අද අපේ තේමාවේ හරයත් ඒකයි. මේක ඉතාම වැදගත්. අපි ‘නැවුම්’ අදහස් සංවර්ධනය කර ඉදිරියට ගත යුතුයි. ඒ නිසා මම ඍජුව කියන්නේ මේ නිර්වචනය ඉවත් කරලා දාන්න. නිර්වචනය හරියට හදා ගත්තොත් සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ”.
සටහන – තුෂාල් විතානගේ















