2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුකරයක සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) දෙවන දිනටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි දුන්නේ ය.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ සිට පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ “කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දීමේ සිදුවීම් පිළිබඳව ඔබ දැනුවත්ව සිටියා ද?” යනුවෙන් හිටපු ජනපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
නීතිඥවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මාධ්‍යවේදී කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත සුදු වෑන් රථවලින් පැහැරගෙන ගොස් පහර දුන් බව කියන සිදුවීම් කලකට පෙර සිදු වූ ඒවා බවයි. ඒ පිළිබඳව සවිස්තරව කරුණු දැක්වීමට තමන්ට මෙම අවස්ථාවේදී මතකයක් නොමැති බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
“ස්වාමීනී, මේවා බොහෝ කලකට පෙර සිදු වූ සිදුවීම්. මේ අවස්ථාවේදී මට ඒ ගැන පැහැදිලි කිරීමේ හැකියාවක් නැහැ. පැහැර ගැනීම් හා පහර දීම් වුණා නම් ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ පොලිස් ස්ථානවලින් පියවර ගන්න ඇති. හැම සිද්ධියක් ම මට වාර්තා වෙන්නේ නැහැ. ආරක්ෂක ලේකම් හැටියට මම කරන්නේ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම යි. ආරක්ෂක කටයුතු ගැන ජනාධිපතිවරයාට උපදෙස් දීම, පිරිස් බලය වැඩි කිරීම වැනි කටයුතු සඳහන් කරන්න පුළුවන්. ඒ හැරුණුකොට විමර්ශන කිරීම මගේ වගකීම නෙවෙයි,” ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට පැවසුවේය.
මෙහි දී නීතිඥ නුවන් බෝපගේ හිටපු ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළත් හිටපු ජනාධිපතිවරයා ‘මට මතක නැහැ ස්වාමීනී’ යනුවෙන් කෙටියෙන් පිළිතුරු දුන්නේය.
මෙම ප්‍රශ්න කිරීම් සිදු වන අවස්ථාවේදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නීතිඥ නුවන් බෝපගේ කළ ප්‍රශ්න කිරීම් අධිකරණය හමුවේ අවස්ථා කිහිපයක දීම අභියෝගයට ලක් කළේය.
“ස්වාමීනී, පැමිණිලි පාර්ශ්වය විසින් මතු කරන ප්‍රශ්න බොහොමයක් මෙම නඩුකරයට සම්බන්ධ ඒවා නෙවෙයි. පිටස්තර කරුණු තමයි මේ විමසන්නේ,” රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා සිය විරෝධය පළ කරමින් කීවේය.
මෙම නඩුකරයට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 12 වන දා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළ අතර, එදිනට ගෝඨාභය රාජපක්ෂට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියම කළේය.















