දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ යතුරුපැදි අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මීගොඩ, නොච්චියාගම සහ වාද්දූව යන පොලිස් වසම් වලින් මෙම අනතුරු වාර්තා වී ඇත.
මීගොඩ – ලියන්වලදී තාප්පයක ගැටී පැදිකරු මරුට ගොඩගම – පාදුක්ක මාර්ගයේ ලියන්වල ප්රදේශයේදී 2026.09.27 වන දින උදෑසන මෙම අනතුර සිදුව ඇත. ගොඩගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ, හෝමාගම ප්රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
නොච්චියාගම – බෝක්කු කණුවක ගැටී පැදිකරු මරුට
නොච්චියාගම – කුකුල්කටුව මාර්ගයේ කිලෝමීටර් 02 කණුව ආසන්නයේදී 2026.09.27 දින රාත්රී කාලයේ මෙම අනතුර සිදුව ඇත. කුකුල්කටුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කු කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පැදිකරු සහ පසුපැදිකරු නොච්චියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පැදිකරු මියගොස් ඇත. මියගිය පුද්ගලයා නොච්චියාගම ප්රදේශයේම පදිංචි 53 හැවිරිදි අයෙකි. නොච්චියාගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
වාද්දූව – පොතුපිටියේදී යතුරුපැදියක් කාර් රථයක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට
ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ පොතුපිටිය ප්රදේශයේදී 2026.09.27 දින රාත්රී කාලයේ මෙම අනතුර සිදුව ඇත. කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී, එම යතුරුපැදියේ ගැටී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ද ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වස්කඩුව ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. වාද්දූව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.














