බංග්ලාදේශය ඇඟලුම් සේවකයින් සඳහා අවම මාසික වැටුප සියයට 36කින් (ඇමරිකානු ඩොලර් 139 දක්වා) ඉහළ දමා ඇති අතර එය දශකයකට වැඩි කාලයක් තුළ සිදු වූ කුඩාම වැඩිවීම බවට චෝදනා එල්ල වී ඇත.
මෙම වැටුප් වැඩිවීම සිදු වන්නේ වැඩි වැටුප් ඉල්ලා ඇඟලුම් සේවකයින් සති ගණනාවක් තිස්සේ පැවැත්වූ විරෝධතාවලින් පසුවය. එම විරෝධතා හේතුවෙන් කර්මාන්තශාලා වසා දැමීම, මහාමාර්ග අවහිර කිරීම සහ නිෂ්පාදනය අඩාල වීම සිදුවිය.
මිලියන 4කට අධික පිරිසක් සේවය කරන, H&M, Zara, Walmart, Target සහ Gap ඇතුළු සිල්ලර වෙළෙන්දන්ට සැපයුම් කරන සහ බංග්ලාදේශයේ අපනයන ආදායමෙන් සියයට 80කට වඩා ජනනය කරන අංශයක් ලෙස ඇඟළුම් කර්මාන්තය බංග්ලාදේශය ආර්ථිකයේ ගාමක බලවේගය බවට පත්ව ඇත.
කම්කරුවන්ගේ සහ සේවා යෝජකයින්ගේ නියෝජිතයින් අතර පැය 12 කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලින් පසු ඊයේ (24) අළුයම 02.00 ට පමණ රජය විසින් පත් කරන ලද වැටුප් මණ්ඩලය නව වැටුප් ව්‍යුහය අනුමත කළේය.
සේවක නියෝජිතයින් දෙදෙනෙකු සහ සේවායෝජක නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකුගෙන් යුත් මණ්ඩලය, නව වැටුප් ව්‍යුහය 4-2 ඡන්දවලින් අනුමත කළ අතර, සිව් දෙනෙකු අවසාන අවම වැටුප වන ටකා 17,000 (ඇමරිකානු ඩොලර් 139) ට සහාය දුන් අතර දෙදෙනෙක් කම්කරුවන්ගේ ටකා 18,000 ඉල්ලීමට සහාය දුන් බව කම්කරු නියෝජිත බාබුල් අක්තර් පැවසීය. වත්මන් අවම වැටුප ටකා 12,500 ක් ලෙස නියම කර ඇත.
ශ්‍රේණි හතරේ ව්‍යුහය යටතේ, මාසික වැටුප 4 ශ්‍රේණියේ සේවකයින් සඳහා ටකා 17,000 සිට 1 ශ්‍රේණියේ සේවකයින් සඳහා ටකා 21,500 දක්වා පරාසයක පවතිනු ඇත. 4 ශ්‍රේණියේ අනුපාතය 2023 දී නියම කරන ලද වත්මන් අවම වැටුපට වඩා ටකා 4,500කින් වැඩි ය.
2023 දී සියයට 56කින්, 2018 දී සියයට 51කින් සහ 2013 දී සියයට 77කින් ඉහළ යාමෙන් පසුව, දශකයකට වැඩි කාලයක් තුළ සිදු වූ කුඩාම වැඩිවීම මෙය විය. සාකච්ඡා අතරතුර ඔවුන්ගේ ඉල්ලුම ටකා 18,000 දක්වා අඩු කිරීමට පෙර, කම්කරුවන් මුලින් ටකා 32,000ක අවම වැටුපක් ඉල්ලා සිටියහ. කර්මාන්තශාලා හිමිකරුවන් පළමුව ටකා 15,000ක් යෝජනා කළ අතර පසුව ඔවුන්ගේ දීමනාව 17,000 දක්වා ඉහළ නැංවීය.
ඇඟලුම් කර්මාන්තයේ නිෂ්පාදනයට බලපා ඇති නොසන්සුන්තාව මැඩපැවැත්වීමට සාපේක්ෂව සුළු වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවිය හැකිය.
බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සංගමය (BGMEA) පැවසුවේ අඟහරුවාදා කර්මාන්තශාලා 397ක් ක්‍රියාත්මක වීමට නොහැකි වූ අතර කම්කරු නීතියේ “වැඩක් නැත, වැටුප් නැත” යන විධිවිධානය යටතේ තවත් 84ක් වසා දමා ඇති බවයි.
දින 18ක බාධාව තුළ කර්මාන්තශාලා 317ක නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් මිලියන 428ක් පමණ අහිමි වූ බව BGMEA සමීක්ෂණයකින් ඇස්තමේන්තු කර ඇති අතර, ගැනුම්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 254ක් පමණ වටිනා ඇණවුම් වෙනත් රටවලට මාරු කළහ.
තවදුරටත් වැටුප් වැඩිවීම් නිෂ්පාදන පිරිවැය ඉහළ නැංවිය හැකි බවත් තරඟකාරිත්වය දුර්වල කළ හැකි බවත් කර්මාන්තශාලා හිමිකරුවන් අනතුරු අඟවා ඇති අතර, කම්කරු අයිතිවාසිකම් කණ්ඩායම් තර්ක කරන්නේ කම්කරුවන්ගේ ජීවන තත්ත්වය පවත්වා ගැනීමට සහ අංශයේ දිගුකාලීන ස්ථාවරත්වය සහතික කිරීමට ඉහළ වැටුප් අවශ්‍ය බවයි.
නව වැටුප් ව්‍යුහය දෙසැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන අතර, ජනවාරි මාසයේ සිට සේවකයින්ට සංශෝධිත වැටුප් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මූලාශ්‍රය: රොයිටර්















