මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් කප්පම් ලබා ගන්නා බවට සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වූ වීඩියෝ පටය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිසිය කියයි.
කප්පම් ගැනීමක් ලෙස මෙය ප්‍රචාරය වුවද, මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ජංගම දුරකථනයක් අලුත්වැඩියා කර නොදීම සම්බන්ධයෙන් ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුව ඇති බවයි.
පිටකොටුව ප්‍රධාන වීදිය පොලැක් මාර්කට් වෙළඳ සංකීර්ණයේ ජංගම දුරකථන අලුත්වැඩියා කරන වෙළඳ සැලක 2026.08.30 දින පුද්ගලයෙකු ඇපල් 13 ප්‍රෝ මැක්ස් (Apple 13 Pro Max) වර්ගයේ ජංගම දුරකථනයක් ඩිස්ප්ලේ අලුත්වැඩියා කිරීමට ලබා දී ඇත. ඒ සඳහා රුපියල් 16,000ක මුදලක් ලබාගෙන දුරකථනය අදාළ පුද්ගලයාට භාර දී තිබේ.
දුරකථනය නිසි පරිදි අලුත්වැඩියා කර නොමැති බව පවසමින් 2026.08.31 දින අදාළ ගනුදෙනුකරු යළි වෙළඳ සැලට පැමිණ ඇති අතර, එහිදී ඇති වූ බහින්බස් වීමක් අතරතුර ඔහු දුරකථනයෙන් වෙළඳ සැල වීඩියෝ ගත කර ඇත. වෙළඳ සැලේ හිමිකරු එම ජංගම දුරකථනය උදුරාගෙන භාරයේ තබාගෙන තිබේ.
පසුව 2026.09.20 වන දින එම ගනුදෙනුකරු කඩුවක් අතැතිව වෙළඳ සැල වෙත පැමිණ කළහකාරී ලෙස හැසිරී ඇත. තමාගෙන් ලබාගත් ජංගම දුරකථනය සහ අලුත්වැඩියාව සඳහා ගෙවූ මුදල් නැවත ලබාදෙන ලෙස ඉල්ලා, වෙළඳ සැලේ දේපළවලටද හානි සිදු කරමින් ඔහු කාර් රථයෙන් පලා ගොස් තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පිටකොටුව පොලිසිය විමර්ශන පවත්වා ඇත.
සැකකරු පලා ගිය රථයේ ලියාපදිංචි අයිතිකරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව 2026.09.23 වන දින අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධය සඳහා යොදාගත් කාර් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, අපරාධයට යොදාගත් කඩුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පිටකොටුව පොලිසිය මගින් සිදුකරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර යන ආකාරයට එය කප්පම් ලබා ගැනීමක් නොවන බවත්, ජංගම දුරකථන අලුත්වැඩියාවක් මුල් කරගත් ආරවුලක් බවත් සිදුකරන ලද විමර්ශණයේ දී අනාවරණය වි ඇත.













