මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයක් : ‌අජිත් අමරසිංහ මහාචාර්ය නිර්මාල් රංජිත්ට දෙනු ලබන පිළිතුරේ වපරිසය

02 වන කොටස

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පලකරන ලද වීඩියෝ දෙකකට පිළිතුරු වශයෙන් ලියැවන “මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි”  යන ලිපිපෙලෙන් ඉදිරියේදී පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙනු ඇත. ඒවානම්, ඉන්දියාවේ විසූ අශෝක රජු ලංකාවට ධර්මදූත පිරිසක් යැවීද ?එසේනම් ඒ කුමන කාලයේද? මේ අය පැමිණියේ ලංකාවටමද? මේ පිරිස බෞද්ධ ධර්මදූතයන්ද? අශෝක රජු බෞද්ධයෙක්ද? මේ අය එනවිටත් ලංකාවේ බෞද්ධයන් සිටියාද? එසේ සිටියේ නම් මේ ධර්මදූත පිරිස ලංකාවට ඒමේ වැදගත්කම කුමක්ද? මේ පිරිස ලංකාවට පැමිණි බවට ඇති සාක්ෂි මොනවාද? මේ පිරිස පැමිණි පසු ලංකාව තුල සීඝ්‍රයෙන් බුදුදහම පැතුරුණිද? යන ඒවායි.

මහාචාර්ය නිර්මාල් මහතා මහාවංශයේ මහින්දාගමනය පිලිබඳව ඇති විස්තරය “මිත්‍යාවක්” යැයි හඳුන්වමින් එය ලංකාවේ බුදුදහම පැතිරුණු පසු පසුකාලීනව තනාගන්නා ලද ප්‍රබන්ධයක් යැයි ඍජුව හෝ ව්‍යංගයෙන් පවසන නිසා ඉහත ලියූ ප්‍රශ්නවලට ඓතිහාසික සාධක ඉදිරිපත් කිරීමේදී මහාවංශයේ මහින්දාගමනය පිළිබඳව ඇති කිසිදු සඳහනක් මේ ලිපිපෙලේ භාවිතා නොකෙරේ. මේ ලිපි පෙලේ භාවිතාකරනු ඇත්තේ මහාවංශයෙන් පිටත ඇති මහින්දාගමනය ඔප්පුකරන ඓතිහාසික සාධක පමණි. එසේම මේ ලිපිපෙලේදී භාවිතාකරනු ලබන සියළු සාධක පාඨකයන්ටද සොයා බැලිය හැකිවන පරිදි මූලාශ්‍ර සහිතව පලකෙරෙනු ඇත.

අශෝක අධිරාජයාගේ 13 වෙනි සෙල්ලිපිය

උතුරු ඉන්දියාවේ නැගෙනහිර දෙසට වන්නට ක්‍රි.පූ හයවෙනි සියවස වනවිට මගධ නම් රාජ්‍යයක් තිබිණි. බුදුරජානන් වහන්සේගේ සූත්‍ර දේශනාවලද සඳහන්වන මේ රාජ්‍යය උන්වහන්සේ පිරිනිවන්පාන කාලයේදී පමණ තමන් අවට රාජ්‍යයන් යටත්කර ගනිමින් අධිරාජ්‍යයක් බවට පත්වෙමින් තිබිණි. මුලින් රජගහ නුවර තම අගනුවර ලෙස පැවති මේ අධිරාජ්‍යයේ අගනුවර පසුව පාඨලීපුත්‍ර (වත්මන් පැට්නා) විය. මේ අධිරාජ්‍යයේ රාජවංශ කිහිපයක් පැවති අතර එහි තිබූ නන්ද රාජවංශය බලයෙන් පහකොට මෞර්ය රාජවංශයේ ප්‍රථම රජුවූ චන්ද්‍රගුප්ත මෞර්ය පාඨලීපුත්‍ර නගරයේ බලයට පැමිණියේය. ග්‍රීසියේ සිට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රි පූ 324 දී ඉන්දියාව ආක්‍රමණය කලේ මෞර්ය රාජවංශයත් එයට පෙර පැවති නන්ද රාජවංශයත් අතර වකවානුවේදී පමණය.

අන් සියළු කරුණු අමතක කලත්, ඇලෙක්සැන්ඩර් රජුගේ  ඉන්දියානු ආක්‍රමණය ඉතිහාසය හදාරන්නන්ට වැදගත් වන එක් හේතුවක් ඇත. ඒ වනවිටත් ග්‍රීකයෝ තමන්ගේ වැදගත් සිදුවීම් ඉතා සැලකිල්ලෙන් ඔවුන්ගේ වර්ෂ ක්‍රමයකට ලේඛනාරූඪ කරමින් සිටියහ. පසුව රෝමානු වර්ෂ ක්‍රමයටත් ඉන්පසු ක්‍රිස්තු වර්ෂ ක්‍රමයටත් පරිවර්තනය වූයේ බටහිරයන්ගේ මේ වර්ෂ ක්‍රමයයි. ඇලෙක්සැන්ඩර් රජුගේ ආක්‍රමණයෙන් පසු මේ දෙපිරිස අතර සිදුවූ අන්තර් ක්‍රියා නිසා, ඉන්දියාවේ සිදුවූ සිදුවීම් බටහිර වර්ෂ ක්‍රමයෙන් ගණනය කිරීමේ හැකියාව ලැබිණි. ලෝකයේ  දැනට ව්‍යවහාර වන වර්ෂ ගණනය කිරීමේ ක්‍රමය වන ක්‍රිස්තු වර්ෂ ක්‍රමයෙන් ඉන්දියාවේ හා  ඒ හා බැඳුණු රටවල සිදුවූ සිදුවීම් යම් පමණකින් හෝ විග්‍රහ කිරීමේ හැකියාව ලැබුනේ ඉන්පසුය. මෙය පැහැදිලි කිරීම මහින්දාගමනය සිදුවූ වසර නිර්ණය කරගැනීමට ඉවහල්වේ.

අශෝක රජු චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ මුණුබුරාය. ඔහු රජ පැමිණ වසර  අටකට පසු ඔහු නැගෙනහිර ඉන්දියාවේ කාලිංග දේශය ආක්‍රමණය කලේය. මේ ආක්‍රමණයේදී සිදුවූ ජීවිත හා දේපොල හානිය දුටු ඔහු මහත් කම්පාවට පත්විය. ඉන්පසු තමන් තවදුරටත් ආක්‍රමණවල නොයෙදී ධර්මය පැතිරවීමට තීරණය කල බව ඔහු ඉන්දියාව පුරා පිහිටවූ සෙල්ලිපි රාශියක ඇත. මෙයින් අශෝක රජුගේ 13 වෙනි සෙල්ලිපිය ලෙස පුරාවිද්‍යාඥයන් නම්කොට ඇති සෙල්ලිපිය අපගේ මාතෘකාවට අතිශයෙන් අදාලය.

මේ සෙල්ලිපිය පකිස්ථානයේ ශාබාසාර්ගි හා මන්සේරාහි කරෝස්ති අක්ෂරයෙන් ද, ඉන්දියාවේ උත්තරකාන්ද්, ගුජරාට් හා ආන්ද්‍රා ප්‍රදේශ් හි බ්‍රාහ්මී අක්ෂරයෙන්ද, ඇෆ්ගනිස්ථානයේ කන්දහාර්හි ග්‍රීක් අක්ෂරයෙන්ද පිහිටුවා තිබී සොයාගෙන ඇත. මේ 13 වෙනි සෙල්ලිපිය ගැන විශාල වශයෙන් පොත් හා ලියැවිලි පළවී ඇතත් යමෙකුට ඒ ගැන ඉතා ඉක්මනින් හැදෑරීමට අවශ්‍යනම් Puratattva: Inscriptions of Ashoka” නම් විද්වත් විමසුමට පාත්‍රවන (Peer Reviewed) වෙබ් අඩවියට පිවිසීමෙන් එසේ කල හැක.

මේ සෙල්ලිපියේ අශෝක රජු තමන් යවන දේශයේ අම්ටියෝග, ටුලමායා, අන්ටෙකිනා, මාකා හා අලික්ශුන්ඩලා යන රජවරුන් හමුවීමටද, චෝල, පාන්ඩ්‍ය,තම්‍රපානියා,කාම්බෝජ, නභපක්ම්කි, නබාක,භෝජ,ආන්ද්‍ර හා පුලින්ද දේශයන්ටද ධර්මය පිලිබඳ පණිවිඩය රැගෙන දූත පිරිස් යැවූ බව ලියයි.  

මේ ලිපියේ සඳහන් අම්ටියෝග සිරියාව පාලනය කල ඇන්ටියෝකස් නම් ග්‍රීක රජු ලෙසත්, ටුලමායා ඊජිප්තුව පාලනය කල ටොලමි නම් ග්‍රීක රජු ලෙසත්, අන්ටෙකිනා මැසිඩෝනියාව පාලනය කල ඇන්ටිගෝනස් නම් ග්‍රීක රජු ලෙසත්, මාකා ලිබියාව  පාලනය කල මාගාස් නම් ග්‍රීක රජු ලෙසත් හා අලික්ශුන්ඩලා ග්‍රීසිය පාලනය කල ඇලෙක්සැන්ඩර් නම් ග්‍රීක රජු ලෙසත් ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන ඇත. මොවුහු මහා ඇලෙක්සැන්ඩර් රජු මියයාමෙන් පසු කොටස්වලට කැඩීගිය ග්‍රීක අධිරාජ්‍යයේ රජවරු වූහ. සමකාලීන ග්‍රීක ලේඛනවල මේ රජවරුන් රජකම් කල වර්ෂ සඳහන්ව ඇති නිසා ඒ රාජ්‍යකාල සැසඳීමෙන් මේ දූත පිරිස් ධර්මදූත ගමන් ගිය කාලවකවානුව කුඩා වෙනස්කම් සහිතව විවිධ ඉතිහාසඥයන් විසින් ක්‍රි. පූ. 250 ත් , ක්‍රි. පූ. 255 ත් (ක්‍රි පූ 3 වෙනි සියවස)  අතර කාලයකට සසඳා ඇත.

මේ දූත පිරිස් ඉන්දියාවෙන් යැවූ කාලය ඒ ඒ ග්‍රීක රජවරුන් රජකම්කල කාල වකවානු අනුව මාගේ කෘතියේ Finding Sinhabahu 28 වනි පිටුවේ වගුවකින් මෙසේ සඳහන්කර ඇත. මාගේ නිගමනය වූයේ මේ ධර්මදූත මෙහෙවරන් සිදුවූයේ ක්‍රි පූ 250-240 වැනි කාලවකවානුවක බවයි.

Finding Sinhabahu – 28 වෙනි පිටුව

මේ 13 වෙනි සෙල්ලිපියේ ඇති වැදගත්ම සටහන නම් අශෝක රජුගේ දූත පිරිස්  “තම්‍රපානියා”  නම් දේශයකටද ඒ වකවානුවේදීම ගිය බවයි. ලංකාවට මිහිඳු මහරහතන්වහන්සේ වැඩි වර්ෂය ලෙස මහාවංශය, දීපවංශය හා නිකාය සංග්‍රහය ග්‍රන්ථයන්හි සඳහන්වන්නේ ක්‍රි.පූ 308 යි (බුද්ධ වර්ෂ 236). එනම් අශෝක රජුගේ 13 වෙනි සෙල්ලිපියේ සඳහන්වන ඔහු ධර්මදූත පිරිස් යැවූ වර්ෂ හා අපේ වංශකථාවල සඳහන් වසර අතර අවුරුදු  40-50 ක පමණ කුඩා කාල වෙනසක් ඇත. එනිසා අපට මේ සරල නිගමනයට එලඹිය හැක. එනම් “ලංකාවේ වංශකථාවල සඳහන්වන අන්දමට මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ යැයි සඳහන්වන ක්‍රි. පූ. 3 වෙනි සියවසේදී පමණ අශෝක අධිරාජයා “තම්‍රපානියා” නම් දේශයකට ධර්මදූත පිරිසක් යැවීය යන්නයි.”

තම්‍රපානියා”  ලංකාවද?

ඊලඟට වැදගත්වන්නේ 13 වෙනි සෙල්ලිපියේ සඳහන් “තම්‍රපානියා”  ලංකාවද යන්න විමසීමයි.

මේ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලැබෙන්නේ අශෝක අධිරාජයාගේ මුත්තණුවන්වූ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ රාජසභාවේ සේවය කල ග්‍රීක ජාතික තානාපතිවරයෙකුවූ මෙගස්තනීස්ගේ “ඉන්ඩිකා” නම් ග්‍රන්ථයෙනි. මගධ මෞර්ය අධිරාජ්‍යයේ පාඨළීපුත්‍ර නගරයේ විශාල කාලයක් විසූ ඔහු, ග්‍රීක භාෂාවෙන් ලියූ මේ පොතෙහි කොටස් ආචාර්ය ශ්වෝන්බෙක් විසින් එක්කල අතර, එය ජේ. ඩබ්. මැක්ක්‍රින්ඩල් විසින් 1877 දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන කලේය. මේ පරිවර්තනය  “Ancient India as described by Megasthenês and Arrian”  යැයි අන්තර් ජාලයේ ටයිප්කර ඕනෑම අයෙකුට බාගත හැක.

ඉතිහාසය හදාරන්නන් විසින් කියවිය යුතුම පොතක් වන පිටු 224 කින් යුක්ත මෙහි 169 සිට 172 පිටුව දක්වා ඇත්තේ තැප්‍රොබෑන් යැයි ග්‍රීකයන් හැඳින්වූ ලංකාව නම් දිවයින පිලිබඳ දීර්ඝ විස්තරයකි. අශෝක රජුගේ මුත්තණුවන්ගේ ලියැවුණුු මේ පොතේ සඳහන්වන ග්‍රීක උච්ඡාරණයට ලියැවුනු “තැප්‍රොබෑන්”  නම් මේ දිවයින අශෝක රජුගේ සෙල්ලිපිවල සඳහන් “තම්‍රපානියා” බවට කිසිම සැකයක් නැත. මේ පොතේ “චන්ද්‍රගුප්ත” හැඳින්වෙන්නේ “සන්ද්‍රකොට්ටා” ලෙසිනි.

එසේම මේ පොතේ 105 වෙනි පිටුවේ මිනිසුන් දෙවිකෙනෙකු මෙන් අදහන (Boutta) නම් අයෙකුගේ අනුගාමික දාර්ශණිකයන් එකල ඉන්දියාවේ විසූ බවත් සඳහන්වේ. අශෝක රජුගේ මුත්තණුුවන්ගේ කාලයේ ලියැවුණුු මේ පොතේ බුදුන් වහන්සේ ගැන ඇති මේ සඳහන, මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ මහින්දාගමනය ගැන සැක උපදවන ප්‍රකාශයන් නිසා කුල්මත්වී සිටින, බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදීම අශෝක රජු විසින් ගොඩනගන ලද ප්‍රලාපයක් යැයි පවසන “මෙරට බුදුන්වාදීන්” ගේ  නොසතුටට හේතුවන කරුණක් වනු ඇත.

මේ සියළු කරුණු එක්කොට සළකනවිට ඉන්දියාවේ අශෝක රජු ක්‍රි. පූ 3 වෙනි සියවසේදී ලංකාවට ධර්මදූත පිරිසක් එවීය යන්න ගැන කිසිදු සැකයක් ඇතිවිය නොහැක.

අශෝක රජු බෞද්ධයෙක්ද?  

මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා නොපැවසුවත් එතුමා මෙන්ම මහින්දාගමනය අමූලික අසත්‍යයක් හෝ නොවැදගත් සිදුවීමක් ලෙස සලකන එතුමාගේ  පුරණාචාර්‍යවරුන් විටින් විට, වටින් ගොඩින් ලියූ තවත් කරුණක් ඇත. එනම් අශෝක රජු සියළු ආගම් වලට ගරු කලත්, බෞද්ධයෙකු නොවූ බවයි. වටහාගැනීමට පහසු අයුරින් පවසන්නේ නම් ඔහු වත්මන් පරම විඥානාර්ථවාදියෙකුට සමාන අයෙකු වූ බවයි.

මෙය යමෙකු බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි හරිහැටි නොදැන කරන ප්‍රකාශයකි. යමෙකුට බෞද්ධයෙකු වීමට ශුද්ධවූ ජලයෙන් සේදීමක්, ශුද්ධවූ නූලක් ගැටගැසීමක් හෝ චර්ම ඡේදනයක් වැනි විශේෂිතවූ ආගමික චාරිත්‍රයක් සිදුකිරීම අවශ්‍ය නොවේ. කිසිදු සැබෑ බෞද්ධයෙකු ඒ ඒ ආගම්වල මේ චාරිත්‍රයන් හෙලාදැකීමක් කිසිසේත් සිදුනොකලයුතු නමුත්, තමන් බෞද්ධයෙකු යැයි විශ්වාස කිරීම හෝ පැවසීම බෞද්ධයෙකුවීමට ඇති එකම අවශ්‍යතාවයයි. බෞද්ධයෙකු කිසියම් ආගමික කටයුත්තක් නොකලත් ඔහුගේ බෞද්ධ බව නැතිවී නොයයි. එසේම සැබෑ බෞද්ධයා අන් සියළු ආගම්වලට ගරුකරන අතර, අන් ආගම්වලට ගරු කිරීම හෝ උදව්කිරීම තුලින් බෞද්ධයෙකුගේ බෞද්ධ බව නැතිවී නොයයි. මේ සියළු අරුත්වලින් අශෝක රජු බෞද්ධයෙකු වෙයි.

කර්නාටක ප්‍රාන්තයෙහි මස්කි, බිහාර් ප්‍රාන්තයෙහි සාසාරාම් හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙහි රූපනාත් යන ස්ථානවල තිබී සොයාගෙන අශෝක රජුගේ කුඩා සෙල්ලිපි අංක 1 ලෙස නම් කරන ප්‍රාකෘත භාෂාවෙන්  ලියැවුනු සෙල්ලිපියේ තමා තමන් බුදුන්,දහම් හා සඟුන් සරණ ගිය “උපාසකයෙකු”  බව පවසයි. (“Puratattva: Inscriptions of Ashoka”) මෙයට අමතර තවත් සෙල්ලිපි රැසක තොරතුරු මගින්  අශෝක රජු බෞද්ධයෙකු වූ බව පැහැදිලි වූවත් මේ බව සනාථ කිරීමට තවත් සාක්ෂි අවශ්‍යද? 

අශෝක රජුගේ 1 වෙනි කෙටි සෙල්ලිපිය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය

මේ සියළු සාධක මත ක්‍රි පූ 3 වෙනි සියවසේදී ඉන්දියාවේ මගධ අධිරාජ්‍යයේ බෞද්ධ අධිරාජයාවූ අශෝක රජු  ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව සනාථවේ.

මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා මිත්‍යාවක් හෝ මිත්‍යා කතන්දරයක් හෝ නොවැදගත් සිදුවීමක් හෝ යැයි පවසා, මහාවංශ කතුවරයාගේ ප්‍රබන්ධයක් යැයි සඳහන් කරන්නේ මහාවංශයෙන් පරිබාහිර ඓතිහාසික සාධක වලින් ඔප්පුවන මේ සත්‍යයයි.

| වෛද්‍ය අජිත් අමරසිංහ

Amarasinghe_ajith@yahoo.com

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකිවිවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර  ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය   2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උළලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.) 

තෙවෙනි, අවසාන ලිපියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website