සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරක දැන්වීම් පළ කරමින් පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස සහ ඉඩම් ලබාදෙන බවට පොරොන්දු වී මහජනතාවගෙන් මුදල් ලබාගෙන මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරු ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කරන ලද දැන්වීම්වලට රැවටී පැමිණි පාරිභෝගිකයින් සමග ගිවිසුම් අත්සන් කර, නිවසේ සහ ඉඩමේ සමස්ත වටිනාකමෙන් 60% ක මුදලක් අත්තිකාරම් ලෙස මුලින් ලබාගෙන ඇත. එම මුදල් ලබාගැනීමෙන් අනතුරුව පොරොන්දු වූ පරිදි කිසිදු නිවසක් ඉදි කර දී නොමැති අතර, පසුව මුදල් ආපසු ඉල්ලා සිටි පාරිභෝගිකයින්ට සැකකරු විසින් ලබා දී ඇති චෙක්පත් ද අගරු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි 05 ක් ලැබී ඇති අතර මීට අමතරව මෙම ජාවාරමට හසු වූ තවත් අගතියට පත් පුද්ගලයින්ගෙන් පැමිණිලි ඉදිරියේදී වාර්තා වීමට නියමිත බව ද මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද 2026.07.28 නුගේගොඩ ගරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















