පැරා තීරු බදු ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයට බලපාන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී අංශ තුනක් ඔස්සේ ඒ ගැන විමසා බැලීමක් කළ හැකිය. ලෝකයේ ඔ්නෑම රටක් ඉදිරියට යන්නේ එම රටේ සිටින අභිලාෂකාමී, තරඟකාරී ජනතාව නිසාය. ලංකාවේ තත්ත්වය සලකා බලන්නේ නම් රට ඉදිරියට ගමන් කරන්නේ මෙකී ජනතාව නිසාය. මෙම ජනතාව මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ ආහාර, ඇඳුම් සහ නිවාස යන ‘මූලික අවශ්‍යතා’ය. නිවාසයක් සම්බන්ධයෙන් ගත් විට එහි මිල මෙම ප්‍රජාවට ලාභදායී සහ සහනදායී එකක් විය යුතුය.
එය එසේ නොවන තත්ත්වයක් තුළ ප්‍රතිවිපාක කිහිපයක් දැකගත හැකිය. ඒ තුළ අප දකින දේට වඩා නොදකින දේවල් තිබේ. ඒ අතර ප්‍රමුඛ කාරණක් වන්නේ Effective Tariff Rate හෙවත් ‘ඵලදායි තීරු බදු අනුපාතය’යි. ලංකාවට යම්කිසි භාණ්ඩයක් ආනයනය කිරීමේ දී අංශ කිහිපයකින් බදු අය කිරීමක් සිදුවේ. ඒ අතර රේගු බදු, සෙස් බදු, පැරා තීරු බදු සහ අවසාන වශයෙන් VAT ආදි වශයෙන් බදු කිහිපයක් තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇතැම් අවස්ථාවල ‘එක් තීරු බද්දක් මත තවත් තීරු බද්දක්’ වැදීමය.
ලංකාවේ බොහෝ ගොඩනැගිලි ද්‍රව්‍ය වල ඵලාදායී තීරු බදු අනුපාතය 76%, 86%, 107%, 108% ආදි වශයෙන් ඉතා ඉහළ අගයක් ගනී. නමුත් මේ ගැන සාමාන්‍ය ජනතාවට නිරවුල් අවබෝධයක් නැත. මෙවැනි අවස්ථාවක ඔවුන් මෙම බදු සාධාරණීකරණය කරන අතර, ඔවුන්ගේ පිළිතුර වන්නේ, ‘මේවට ලොකු බද්දක් ගැහුවට කමක් නැහැ, මොකද ලංකාවෙත් මේවා හදනවානේ’ යන්නයි. නමුත් එය සත්‍ය ප්‍රකාශයක් නොවේ. බහුතරයක් ජනතාවට නොතේරෙණ ප්‍රශ්නය වන්නේ ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී එහි සැබෑ මිලට වඩා දෙගුණයකට ආසන්න මිලක් ගෙවීමට සිදුවීමය.
නමුත් ප්‍රශ්නය වන්නේ මෙකී පැරා තීරු බදු සාධාරණීකරණය කරන ජනතාවම අනෙක් පසින් ලංකාවට, රජයට මේ හරහා විශාල ආදායමක් ලැබෙන බව සිතීමය. නමුත් මෙමගින් විශාල ආදායමක් නොලැබෙන බව අවබෝධ කර ගත යුතුය. ඊට හේතුව වන්නේ මෙවැනි විශාල තීරු බද්දක් පැනවූ පසු මෙවැනි භාණ්ඩ ලංකාවට ආනයනය නොකිරීමය. මෙම පසබිම තුළ දේශීය නිෂ්පාදන වල මිල වේගයෙන් ඉහළ යාමක් සිදුවේ.
- ආර්ථික බලපෑම
මෙහි ආර්ථික බලපෑම වෙත මීළඟට අවධානය යොමු කළ යුතුය. පළමු කාරණය වන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙනුනේ පනවා ඇති අධික පැරා බදු වෙනුවෙන් ගෙවීමට සිදුවන මුදල වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමට කරන ගෙවීමක් වීමය.
“ගෙයක් හදන්න සාමාන්‍ය වියදම 40%ක් නම් ඒ සාමාන්‍ය වියදම අදාළ තරුණයා හෝ තරුණිය කොට්ටේ යට දාලා තියාගෙන ඉන්න සල්ලි නෙමෙයි. ඔහු හෝ ඇය යම් වෙනත් දෙයක් වෙනුවෙන් වැය කළ හැකි මුදලක් තමයි මේ නිවස ඉදිකිරීම වෙනුවෙන් වැය කරන්නේ” කතිකාවේ සමාරම්භ අදහස් දැක්වීම ආරම්භ කරමින් කළ දීර්ඝ පැහැදිලි කිරීමකින් පසු Advocata Institute හි විධායක අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු කීවේය. මෙහි දී ඔහු වැඩි දුරට් සඳහන් කළේ මෙහි ඍණාත්මක බලපෑම දේශීය ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින්ට ද දැනෙන බවයි.
“ගෙයක් හදන්න තිබෙන සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් යකඩ කම්බිවලට, කොන්ක්‍රීට්වලට හෝ විදුලි උපකරණවලට වැය කළාට පස්සේ වෙනත් දේවල් වලට වියදම් කරන්න මුදලක් නැහැ. නිවස අවසන් කරනන්, අංග සම්පූර්ණ කර ගන්න මුදලක් අතේ නැහැ. මේ තත්ත්වය සාමාන්‍ය ඉදිකිරීම් කරුවාගේ සිට මහා පරිමාණ ඉදිකිරීම්කරුවා දක්වා බොහෝ පාර්ශ්වයන්ට බලපානවා. ආර්ථිකයේ වෙනත් වැවලට යොදවන්න තිබෙන මුදල් තමයි මේ වෙනත් දේකට යොදවන්නේ. ඒක සමස්ත ආර්ථිකයටම ලොකු ප්‍රශ්නයක්” ධනනාත් පැවසුවේය.
- ඩොලර් ඉතිරි වීම
මෙහි දී ධනනාත් පැවසුවේ මෙවැනි තත්ත්වයක් තුළ ‘ඩොලර් ඉතිරි වෙන බව’ බොහෝ දෙනෙක් සිතන බවයි.
“ඒක ඒතරම් නිවැරදි නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ටයිල් එකක 40%ක් පමණ තියෙන්නේ බලශක්තියට වැය වූ මුදල. ටයිල් නිෂ්පාදනයේ දී බලශක්තිය ලෙස භාවිතා කරන්නේ එල්.පී ගෑස්. එල්.පී ගෑස් වලින් 100%ක්ම ආනයනය කරනවා. ඇත්තටම ටයිල් දේශීයව නිෂ්පාදනය නොකර ආනයනය කරනවා නම් සමහර විට රටින් ඩොලර් පිටවීම අඩුවීමට පුළුවන්. හේතුව තමයි දේශීයව ටයිල් නිෂ්පාදනය කිරීමේ දී එහි නිෂ්පාදන පිරිවැයෙන් 40%ක් 100%ක්ම ආනයනය කරන එල්.පී. ගෑස්වලට යනවා. ඒ අනුව අපට කියන්න වෙන්නේ ටයිල් දේශීයව නිෂ්පාදනය කිරීම හරහා ඩොලර් ඉතිරි කිරීමක් සිදු නොවන බවයි” ධනනාත් වැඩි දුරටත් පැහැදිලි කළේය.
ඉදිකිරීම් කර්මාන්තය සමස්ත ආර්ථිකයටම බලපාන බව ධනනාත් පෙන්වා දුන්නේය.
“ගෙවල් හදන එකම නෙමෙයි ඉදිකිරීම් කර්මාන්තය කියලා කියන්නේ. මහා මාර්ග ඉදිකිරීම, ව්‍යපාරික ස්ථාන ඉදිකිරිම, ඒවා නවීකරණය කිරීම ආදි පුළුල් ක්ෂේත්‍රයක් ඉදිකිරීම් කර්මාන්තය තුළ අන්තර්ගත වෙනවා. මේ සියලු ඉදිකිරීම්වල නිෂ්පාදන වියදම 40%කින් හෝ 50%කින් ඉහළ යනවා කියන්නේ මේ ඉදිකිරීම් වෙනුවෙන් දැරීමට සිදුවන මූල්‍ය වියදමත් ඉහළ යනවා. මේ සල්ලි පෙට්ටගමේ දාගෙන හිටිය ඒවා නෙවෙයි, අනිවාර්යයෙන් 14%ක් වාගේ ඉහළ පොළියකට බැංකුවෙන් ණයට ගත්ත මුදල්. ඒ කියන්නේ මුලින් සඳහන් කළ අමතර මුදලට තවත් 14%ක, 15%ක මිලක් අපි ගෙවනවා” ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය හමුවේ පවතින බරපතළ ගැටලුවක් පැහැදිලි කරමින් ධනනාත් කීවේය.
- තරඟකාරීත්වය අඩුවීම
මේ ආකාරයෙන් නිෂ්පාදන වියදම, පිරිවැය ඉහළ යාම හේතුවෙන් ආර්ථිකයේ තරඟකාරීත්වය බෙහෙවින් අඩුවන ආකාරය ධනනාත් තව දුරටත් පැහැදිලි කළේය.
“ඉදිකිරීම් ආර්ථිකයේ සෑම අංශයකටම අවශ්‍යයි” යැයි කී ධනනාත් නිවාස ආදිය පරම්පරාවකට ගැළපෙන ආකාරයට ඉදිකළ ද සංචාරක හෝටල්, කර්යාල ආදිය විටින් විට නවීකරණය කළ යුතු බව කීවේය. වසර කිහිපයකට වරක් අදාළ නවීකරණ කටයුතු වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය නිෂ්පාදනයේ මිල මත අමතර බරක් නිර්මාණය කරන බව ඔහු කීවේය.
“සංචාරක හෝටලයක් නම් අවසානයේ මේ සියලු වියදම් එකතු වෙන්නේ කාමර කුලියට, ආහාර ප්ලේට් එකට. මෙහි ප්‍රතිඵලය තමයි මිල ඉහළ යාම හරහා තරඟකාරීත්වය දුර්වල වීම. මේ තත්ත්වය තුළ නිවාස වේවා, සංචාරක හෝටල් වේවා, සියලුම ආකාරයේ ඉදිකිරීම් කිරීම ප්‍රශ්නයක්” ධනනාත් තව දුරටත් තත්ත්වය පැහැදිලි කරමින් සඳහන් කළේය.
- සමීක්ෂණයක ප්‍රතිඵල
මෑත කාලයේ දී Advocata Institute මේ සම්බන්ධයෙන් පර්යේණයක් කළ බව හෙළි කළ Advocata Institute හි විධායක අධ්‍යක්ෂවරයා එම ප්‍රතිඵල දැක තමා ‘පුදුමයෙනුත් පුදුමයට’පත් වූ බව කීවේය.
“අපි මෙහිදී විශ්ලේෂණයක් කළා, ඒ ඒ රටවලපුද්ගලයෙකුගේ ආදායමට සාපේක්ෂව (එක එක රටවල ආදායම වෙනස් වේ) නිවසක් ඉදිකිරීමට යන වියදම ගැන අපි සොයා බැලුවා. ඒ ප්‍රතිඵල දිහා බැලුවම අපි පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. චීනයේ අග නුවර වන ෂැංහයි වලට පස්සේ ලංකාවේ ආදායමට සාපේක්ෂව ඉදිකිරීම් වියදම ඉතාම ඉහළයි. නිව් යෝර්ක්, ටෝකියෝ, ලන්ඩන් වාගේ නගරවලටත් වඩා අපේ ඉදිකිරීම් පිරිවැය ඉහළයි. අපේ මේ සන්සන්දනයට ඉන්දියාව, බංග්ලාදේශය වාගේ රටවලුත් යොදා ගත්තා. ඒ අනුව අපට පැහැදිලි වුණා ලංකාව තමයි අපි සමීක්ෂණය කළ රටවල් අතරින් ආදායමට සාපේක්ෂව නිවසක් ඉදිකිරීමට චීනයේ ෂැංහයි නුවරට පසුව වැඩිම වියදමක් දරන්නේ කියලා” ධනනාත් Advocata Institute කළ විශේෂ සමීක්ෂණයක සොයා ගැනීම් උපුටා දක්වමින් පැවසුවේය.
මෙහි දී ඔහු වැඩි දුරටත් පැවසුවේ තම සොයා ගැනීම් ගැන අවබෝධයක් ලබා ගැනීමට වැඩි යා යුතු නැති බවයි.
“අපි දකින බොහොමයක් නිවාස සම්පූර්ණ කරලා නැහැ. තට්ටු දෙකක් හදන්න ගිය නිවාස වල දෙවැනි තට්ටුව වෙනුවට තියෙන්නේ රෙදිවැල් බඳින කම්බි කූරු. ඉදිකරලා තියෙන්නේ පළමු මහළ පමණයි. ඒකට හේතුව ඉදිකිරීම් වියදමෙන් 50%ක් පැරා බදු වීම. මේ නිසා ජීවිත කාලය පුරාම හම්බ කළ සල්ලි සේරම පළමු වැනි තට්ටුවට දානවා. දෙවැනි තට්ටුව හදන්න යන සල්ලිත් තියෙන්නේ පළමු තට්ටුවේ. මේ නිසා තට්ටු දෙකම හදන්න වෙන්නේ අවුරුදු 55,60 ගියාට පස්සේ EPF එක හරි ETF එක හරි අරගෙන. මේක තමයි ලංකාවේ යථාර්ථය. තට්ටු දෙකේ ගෙයක් හදන බොහෝ දෙනෙකුගේ දෙවැනි තට්ටුව හදන්න වෙන්නේ ළමයින්ට, නැති නම් විශ්‍රාම ගියාට පස්සේ ලැබෙන අර්ධසාධක අරමුලින්” Advocata Institute හි විධායක අධ්‍යක්ෂවරයා තම අදහස් දැක්වීමේ පළමු කොටස අවසන් කරමින් පැවසුවේය.
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ වැඩසටහන්’ මාලාවේ 281 වැනි කතිකාවේ දී Advocata Institute හි විධායක අධයක්ෂ, ධනාත් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ අදහස් ඇසුරෙන් සකස් කළ ලිපියකි)
සටහන – තුෂාල් විතානගේ














