ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (සාමාන්‍යයෙන්) වාර්ෂිකව පැමිණිලි 10,000ක් පමණ ලැබෙනවා. එම පැමිණිලි අතරින් බහුතර පැමිණිලි සංඛ්‍යාවක් ‘ශාරීරික දඬුවම්’ නැතිනම් ‘කෲරත්වය’ සම්බන්ධ පැමිණිලි. වසර දෙකකට පමණ පෙර මේ පැමිණිලි තමයි වැඩි පුරම ලැබුණේ. නමුත් මේ වන විට (කිසියම් හේතුවක් නිසා) මේ වර්ගීකරණය කිරීමේ වෙනසක් කරලා තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීමේ රජයේ සැලසුම සහ ඉහළ අධිකරණවල පවතින පුරප්පාඩු පිරවීම දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ සංවාදයක් සමාජය තුළ පවතින අතර මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පසුව නඩු ප්‍රමාද වීම ආදි වශයෙන් අධිකරණයේ පවතින තවත් ගැටලු ගණනාවක් ද උණුසුම් පුවත් නිර්මාණය කර ඇත.
මේ අතර අටමස්ථානාධිපති හිමියන් විසින් බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ල වීම සමඟ ළමා අපයෝජනය හා සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ දැඩි සංවාදයක් පැවතිය ද එහි උණුසුම මේ වන විට පහව ගොස් ඇත. එහෙත් මෙරට ළමුන් 46,000කගේ ජීවිත හා අනාගතය සම්බන්ධ බරපතළ ප්‍රශ්නයක්, අභියෝගයක් අදත් අප හමුවේ පවතී. මේ එම ළමුන් 46,000 මුහුණ දෙන අභියෝගය සම්බන්ධයෙන් වෛද්‍ය තුෂි වික්‍රමනායක ‘රතුඉර’ සමඟ කළ විශේෂ හෙළිදරව්වකි.
- ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වූ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 46,000ට වඩා වැඩි ප්‍රමාණයක් මේ දක්වා නොවිසඳී පවතින බවට ඔබ පසුගිය දා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
පසුගිය 2014 සිට 2024 වර්ෂය දක්වා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජනය සම්බන්ධ පැමිණිලි 127,000ක් අධික ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. 2024 අග වන විට එම පැමිණිලි වලින් 46,000කට අධික ප්‍රමාණයක් විසඳලා තිබුණේ නැහැ කියලා විගණනකාධිපතිගේ 2025 වාර්ෂික වාර්තාවේ සඳහන් වෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කර්තව්‍ය යටතේ (1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14 වගන්තිය අනුව) ඉටු කළ යුතු කර්තව්‍යයක් ඉටු නොකළ බව විගණකාධිපති වාර්තාව කියනවා. මේ කර්තව්‍ය අතර වැදගත් එකක් තමයි ‘නඩු නියාමනය’ කියන එක. සෑම ළමා අපයෝජන නඩුවක්ම නියාමනය කිරීම ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ කර්තව්‍යයක්. නමුත් ඔවුන් ඒක ඉටු කරලා නැහැ. ඒ වගේම අදාළ නීති ක්‍රියාත්මක කිරීම වෙන්නේ නැහැ, ඒ වගේම මෙම විෂය සම්බන්ධයෙන් රජයට උපදෙස් දීම සිදුවෙන්නේ නැහැ. සමස්තයක් ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අයත් කර්තව්‍යන් ගණනාවක් නිසි පරිදි ඉටුකර නොමැති බවට විගණකාධිපති වාර්තා පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා. ඒ අනුව තමයි අප #40,000 කියන උද්ඝෝෂණය ආරම්භ කළේ.
- ඔබ කියන්නේ මේ පැමිණිලි 46,000 සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කිසිවක් කරලා නැහැ කියල ද ?
ඔව්, මේ පැමිණිලි 46,000න් සමහර පැමිණිලි බලලවත් නැතිව ඇති, සමහර ඒවා බාගෙට බලමින් පවතිනවා ඇති. තවත් සමහර පැමිණිලි නීතිපතිවරයාට යොමු කරලා නැහැ, තවත් සමහර පැමිණිලි නීතිපතිවරයාට යොමු කළත් ඒ සම්බන්ධව ක්‍රියා කරලා නැහැ. ඒ වගේ සංකීර්ණ තත්ත්වයක් අප හමුවේ තිබෙනවා. නඩු ගිය ඒවත් සමහර විට ඇති. නමුත් නඩු නියාමනයක් නැති නිසා අපි දන්නේ නැහැ ඇත්ත තත්ත්වය කුමක් ද කියලා. ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරපු ඒවත් ඇති. නමුත් මහාධිකරණයේ පවරපු නඩු මෙතන නැහැ. ඒවා වෙනමම කොටසක් ලෙස තමයි ගණන් ගන්නේ.
- මේ තත්ත්වයට හේතු ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ කුමක් ද ?
විමර්ශනයට ලක් නොකළ පැමිණිලි මෙතරම් ප්‍රමාණයක් නැති බව ජාතික ළමා ආරකෂක අධිකාරිය කියනවා. ඒ වගේම ඔවුන් සෑම අවස්ථාවකම ඔවුන්ට තිබෙන අඩුපාඩු, අපහසුකම් ගැන කියනවා. ඒ කියන්නේ, නිලධාරීන්ගේ හිඟය, මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම වැනි අපහසුතා ගැන ඔවුන් නිරන්තරයෙන් මැසිවිලි කියනවා. නමුත් වාර්ෂිකව ඔවුන් ඉල්ලා සිටි මූල්‍ය ප්‍රතිපාදන ලැබුණ බවත් සභාපතිවරයා කියනවා.
- ප්‍රතිපාදන හිඟය, නිලධාරී හිඟය ආදි කරුණු ඉදිරිපත් කරමින් මේ ආකාරයෙන් වගකීමෙන් ගැළවෙන්න ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පුළුවන්ද ?
1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 14 ව්‍යවස්ථාවේ අධිකාරියේ කර්තව්‍ය ගැන සඳහන් වෙනවා. එහි (අ) සිට (ණ) දක්වා මේ කර්තව්‍ය මොනවාද කියලා පැහැදිලිව සඳහන් වෙනවා. විගණකාධිපති වාර්තාවේ මේ සෑම අකුරක් යටතේම නොකළ දේවල් ගැන පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා. අපිත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ‘නඩු නියාමනය’ සම්බන්ධ විස්තර ඉල්ලා තිබෙනවා. නඩු නියාමනය සම්බන්ධ දත්ත පද්ධතියක් සකස් කළ යුතු බවට නියෝගයක් තිබෙනවා. එහි කටයුතු යම් ප්‍රමාණයකින් මේ වන විට සිදුවෙනවා. නමුත් එහි ප්‍රමාණයත් තරම් දත්ත නැති බවයි අපේ අදහස. උදාහරණයක් ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවියේ මාසිකව මහාධිකරණය හමුවේ පවතින නඩු සංඛ්‍යාව ගැන තොරතුරු වාර්තා කරනවා. නමුත් මේ නඩු සම්බන්ධ පැමිණිලි ලැබුණු දිනය, නඩු ගොනුකළ දිනය ආදි දින වකවානු මේ දත්ත වලින් පැහැදිලි වෙන්නේ නැහැ.
- ළමා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි වල ස්වභාවය සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (සාමාන්‍යයෙන්) වාර්ෂිකව පැමිණිලි 10,000ක් පමණ ලැබෙනවා. එම පැමිණිලි අතරින් බහුතර පැමිණිලි සංඛ්‍යාවක් ‘ශාරීරික දඬුවම්’ නැතිනම් ‘කෲරත්වය’ සම්බන්ධ පැමිණිලි. වසර දෙකකට පමණ පෙර මේ පැමිණිලි තමයි වැඩි පුරම ලැබුණේ. නමුත් මේ වන විට (කිසියම් හේතුවක් නිසා) මේ වර්ගීකරණය කිරීමේ වෙනසක් කරලා තිබෙනවා. ඒ අනුව පසුගිය කාලයේ වැඩි පුරම ලැබුණේම ළමා හා යෞවනයන්ගේ පනත ප්‍රකාරව ‘වැරැද්දක්’ ලෙස වර්ගීකරණය කළ පැමිණිලි පමණයි. නමුත් අපට කියන්න බැහැ පනත ප්‍රකාරව වර්ගීකරණය කරලා තිබෙන්නේ මොන වගේ අපයෝජන ද කියලා. අපේ අදහස වන්නේ මේ ආකාරයේ වර්ගීකරණයක් සුදුසු නැහැ. කෙසේ වෙතත් ලංකාවෙන් ළමා අපයෝජන සම්බන්ධයෙන් වැඩි පුරම වාර්තා වෙන්නේ ‘කෲරත්වය’ සම්බන්ධ පැමිණිලි.
- ළමා අපයෝජන වර්ගීකරණය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ළමා අපයෝජන වර්ග හතරක් තිබෙනවා. ඒවා නම්, ශාරීරික අපයෝජන (ශාරීරික දඬුවම් දීම, හිංසා කිරීම,) ලිංගික අපයෝජන (මේ යටතේ වර්ග ගණනාවක් තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය අනුව ලිංගික අතවර කිරීම, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය, බරපතළ ලිංගික අපයෝජනය ආදි වශයෙන්), මානසික අපයෝජනය සහ නොසලකා හැරීමයි. මේවා අතරින් ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම වැඩි පුරම වාර්තා වෙන්නේ ශාරීරික අපයෝජනයයි. වර්තමානය වන විට මුළු ලෝකයේම වාර්ෂිකව දරුවන් බිලියන 1.8ක් ශාරීරිකව අපයෝජනයට ලක්වෙනවා.
- මේ ආකාරයෙන් ළමා අපයෝජන සිදුවීමට බලපාන සමාජ, ආර්ථික හා සංස්කෘතික සාධක මොනවාද ?
හේතු ගණනාවක් තිබෙනවා. සමස්තයක් ලෙස සලකා බලන විට, දරුවා කියන්නේ අයිතිවාසිකම් හිමි, නිදහස්, ස්වෛරී පුද්ගලයෙක් කියන එක පිළිනොගැනීම මෙයට මූලික හේතුවයි. වැඩිහිටියෝ සෑම අවස්ථාවකම හිතනවා ‘දරුවෝ ඉන්න ඔ්නෑ අපට අවශ්‍ය විදිහට’ කියලා. දරුවන්ට තමන්ගේ දෙයක් තනිවම කර ගන්න බැහැ, ඔවුන් අන්ත අසරණයි කියලා වැඩිහිටියෝ හිතනවා. බලාධිකාරියකින් තමයි වැඩිහිටියෝ සෑම අවස්ථාවකම දරුවන් දෙස බලන්නේ. ඒ වගේම ළමා අපයෝජනවලින් 90%ක්ම සිදුවෙන්නේ දරුවා විශ්වාස කරන, දරුවා ආදරය කරන, තමන්ගේ සමීපතමයින්ගෙන්. ඒකට හේතුව තමයි ‘අපේ භාරකාරත්වයේ’ බරපතළ ගැටලුවක් තිබෙනවා. දරුවාගේ අයිතියක් කාටවත් නැහැ, දෙමාපියන්ටවත් නැහැ. දරුවාගේ මුල් භාරකාරත්වය දෙමාපියන්ටත්, අවසන් භාරකාරත්වය ‘රාජ්‍යයටත්’ තිබෙනවා. භාරකාරත්වය කියලා කියන්නේ දරුවාට හිංසාවක් නොවන ආකාරයට, ඔහුගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් වගකීම් ඉටුකිරීමයි. දෙමාපියන්ගෙන්, ඥාතීන්ගෙන්, ගුරුවරුන්ගෙන් ආදි දරුවාගේ භාරකාරත්වයට සම්බන්ධ විවිධ පාර්ශ්ව අතින් භාරකාරත්වයේ අඩුපාඩු සිදුවීම නිසා තමයි ළමා අපයෝජන විශාල ගණනක් සිදුවන්නේ. ඒ වගේම අපේ නීති පද්ධතියේ තිබෙන අඩුපාඩුකම්. අපේ නීති පද්ධතියේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා. නීති පද්ධතිය දැළක් නම්, ඒ දැලේ ගොඩක් සිදුරු තිබෙනවා. ඒ සිදුරු වලින් නීතිය ක්‍රියාත්මක නොවන තැනට බොහෝ විට කරුණු කාරණා සිද්ධ වෙනවා.
- ළමා අපයෝජන සම්බන්ධ නීති පද්ධතියේ හිල් තිබෙන බව ඔබ කියනවා. මෙය තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද ?
අපි දන්නවා ශාරීරික දඬුවම් තමයි ළමුන්ට එරෙහිව ලෝකය පුරාම වැඩිපුර වාර්තා වෙන්‌නේ, සිදුවෙන්නේ. ශ්‍රී ලංකාවේ අදත් ක්‍රියාත්මක වන ‘දණ්ඩ නීති සංග්‍රහය’ අපට ලැබුණේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින්ගෙන්, 1883 දී. ඒ දණ්ඩ නීති සංග්‍රහය තමයි ‘අපේ නීතිය’ කියලා මේ දක්වා ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ වන විට මහා බ්‍රිතාන්‍ය තුළ දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය ඇතුළු බොහෝ රටවල් දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අහෝසි කරලා තියෙන්නේ. දරුවන්ට ‘ගහන්න බෑ’කියලා ඔවුන් පිළිගන්නවා.
අපේ රටේ මේ ක්ෂේත්‍රය සම්බන්ධ නීතිවල මුලින්ම වෙනසක් ඇති වුණේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනයේ දී. ඒ අනුව 1996 දී දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය සංශෝධනය කරලා 308 (අ) අනු වගන්තියෙන් ‘ළමා කෲරත්වය’ ‘සාපරාධී ක්‍රියාවක් බවට පත් කළා. ඒ සමඟ 1997 දී එම අනුවගන්තියටම ‘මානසික කෘාරත්වය’ කියන එකත් එක් කළා. ඒ අනුව ශාරීරික හා මානසික කෲරත්වය දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයට ලක් වුණා. නමුත් මෙහි සංශෝධනය කළ යුතු තවත් වගන්ති තිබෙනවා. 82 වන වගන්තියේ තිබෙනවා, ‘දරුවෙක් වයස අවුරුදු 12ට වඩා අඩුනම් ඒ දරුවාට සද්භාවයෙන් ශාරීරික දඬුවම් කළොත් එය සාපරාධී ක්‍රියාවක් නොවෙ’ කියලා.
මේ වගන්තිය නිසා තමයි ඉස්කෝල වල ළමයින්ට ගහලා පොලිසියට පැමිණිලි කරන්න ගියාම ‘වයස කීයද ?’ කියලා අහන්නේ. ළමයගේ වයස අවුරුදු 12ට අඩු නම් සාමදාන කරලා එවන්න බලන්නේ ඒ නිසයි. දණ්ඩ නීති සංග්‍රහයේ 341 වගන්තිය ‘පහරදීම’ ගැන සඳහන් වෙන අතර පහර දීමට හැකියාව ලැබෙන අවස්ථා ගැන උදාහරණ දීලා තිබෙනවා. 341 (i) කියන උදාහරණයේ දී පැහැදිලිව කියනවා ‘පාසල් ගුරුවරයාට සද්භාවයෙන්, දරුවාව හොඳ මඟට ගැනීමේ අපේකෂාවෙන්, යහපත් චේතනාවෙන් ශිෂ්‍යයාට තදින්ම පහර දෙන්න පුළුවන් කියලා. ඒක සාපරාධි ක්‍රියාවක් නොවේ කියලා’ මේ වගන්තියේ සඳහන් වෙනවා මේ කාණ්ඩ දෙක අහෝසි කිරීමට තමයි, ශාරීරික දඬුවම් අහෝසි කිරීමේ පනතක් අපි යෝජනා කළේ. මේ පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේ පාර්ලිමේන්තුවේ සභා ගත කළා නමුත් එහි කටයුතු මේ වන විට නතර වෙලා තියෙන්නේ.
- මේ පනත් කෙටුම්පත ඉදිරියට යාම අතරමඟ නතර වුණේ ඇයි ?
නීතිමය පැත්තෙන් සිදුවෙලා තියෙන්නේ කුමක් ද කියලා අපි නම් දන්නේ නැහැ. නමුත් අපි මේ පනත හදලා දුන්නේ දීර්ඝ කාලයක් සිට කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් ප්‍රඥප්තියට 1989 දී අත්සන් කළා. එක්සත් ජනපදය හැර ලෝකයේ සියලුම රටවල් 196ක් මේ ප්‍රඥප්තියට අත්සන් කළා. මේ රටවල් 195ම 1991 දී මේ ප්‍රඥප්තිය දේශීය නීති පද්ධතියට එකතු කර ගත්තා. නමුත් අපි මේ ප්‍රඥප්තිය අපේ නීති පද්ධතියට හරියට එකතු කර ගෙන නැහැ. මේ ගැටලුවට විසඳුමක් ලෙස තමයි, ශාරීරික දඬුවම් අහෝසි කිරීමේ පනතක් කෙටුම්පත් කළේ. මෙහි ආරම්භ පියවර පසුගිය ආණ්ඩුව කාලයේ තමයි මේ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයෙන් සම්මත කර ගත්තේ.
මේ වෙනුවෙන් අපි ‘ජාතික ක්‍රියාවලියක්’ හඳුන්වා දුන්නා. අවුරුද්දක් හෝ අවුරුදු එකහමාරක් පුරා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් අපි යෝජනා කළා. ඒ අතර රාජ්‍ය මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කිරීම, (කුඩා දැන්වීමක්) ගුරුවරුන් පුහුණු කිරීම, දෙමාපියන් දැනුවත් කිරීම වෙනුවෙන් අත්පත්‍රිකාවක් ලබාදීම, මේ පනත සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට වෙබ් අඩවියක් ආරම්භ කිරීම කළ යුතුයි කියලා අපි යෝජනා කළා. නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු නොකර, ජාතික ක්‍රියාදාමය සම්පූර්ණ නොකර කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මේ පනත් කෙටුම්පත සභා ගත කළ ආකාරය පවා වැරදියි. නීති සංශෝධන සභා ගත කළ යුත්තේ අධිකරණ අමාත්‍යවරයා විසින්. නමුත් අධිකරණ අමාත්‍යවරයා රටේවත් නොසිටි අවස්ථාවක කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය මේ පනත් කෙටුම්පත සභා ගත කළා. මෙහි ඇති විශේෂත්වය තමයි මේ පනත් කෙටුම්පත් සම්පාදනය කළ අපිවත්, කමිටුවේ සිටි අපිවත් මේ ගැන දැන සිටියේ නැහැ. මේක ඉතාම කඩිමුඩියේ සභා ගත කළේ. අනෙක් අතට නීති සංශෝධනය ඇයගේ විෂය පථයට අයිති නැහැ. මේ පනත් කෙටුම්පතට විපක්ෂයෙන් සහ සමාජයෙන් බරපතළ විවේචන එල්ල වුණා. නමුත් ආණ්ඩුවට හෝ විෂයභාර අමාත්‍යවරියට මේ දේශපාලන ප්‍රතිරෝධය වළක්වා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය නීති දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ පනත පස්සට ගිහින් තිබෙනවා.
- මේ පනත් කෙටුම්පතේ අඩුපාඩු තිබුණා නේද ?, ඒ නිසා නේද මේ දැඩි විරෝධය එල්ල වුණේ ?
ඔව්, මේ පනත් කෙටුම්පතේ සුළු සුළු අඩුපාඩු තිබුණා. ගැටලුකාරී එක් වගන්තියක් තිබුණ බව මමත් පිළිගන්නවා. ඒ වගන්තිය නැවත නිවැරදිව ලියලා, පුහුණු වීම් හා දැනුවත් කිරීම් කරලා ඉදිරියට යන්න අවස්ථාවක් තිබෙනවා. නමුත් මේ පනත මේ දක්වා ඉදිරියට යන බවක් අපට පේන්න නැහැ. නමුත් පළාත් මට්ටමින් ගුරුවරු පුහුණු කිරීම නම් මම දන්නා ආකාරයට සිද්ධ වෙනවා.
- # 40,000 ව්‍යාපාරය ගැන ජනතාවට යම් පණිවිඩයක් දෙන්න තිබෙනවා ද ?
ජනතාව විසින් දැන ගත යුතු කරුණු තුනක් තිබෙනවා. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට 2014 සිට 2024 දක්වා ලැබුණු නමුත් අවශ්‍ය තරම් ක්‍රියාමාර්ග නොගත් පැමිණිලි 46,000ක් තිබෙනවා. ළමා අපයෝජන සම්බන්ධ ජාතික ළමා ආරක්ෂන අධිකාරියට පැමිණිලි කළත්, පොලිසියට පැමිණිලි කළත් අවසානයේ අදාළ ලිපි ගොනුව නීතිපතිට යා යුතුයි. නීතිපතිගේ CH අංශය, ළමා ආරක්ෂණ අංශය කියලා විශේෂ අංශයක් තිබෙනවා. නීතිපති මේ ගොනුව පරීක්ෂා කරලා නඩු දැමීමට (අධි චෝදනා ගොනු කිරීම) හෝ නඩු දැමීමට නොහැකි නම් ඉවත දැමීම සිදුකරනවා. නමුත් මේ දක්වා කිසිම තීන්දුවක් නොගත් ලිපි ගොනු 4000කට වඩා වැඩි ප්‍රමාණයක් නීතිපති ළඟ හිර වෙලා තිබෙනවා. ඒ වගේම අධි චෝදනා ගොනු කළ නඩු 4000කටත් වඩා වැඩි ප්‍රමාණයක් මහාධිකරණයේ තිබෙනවා. අවුරුදු 10කට වඩා අඩු ළමයි 60,000ක් පමණ යුක්තිය බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේක කිසිසේත් සාධාරණ නැහැ. නමුත් වෙනත් රටවල තත්ත්වය මීට වඩා වෙනස්. දරුවෙක් ලෙස අපයෝජනයක් සිදු වුණොත්, අධිකරණයකට ගියොත්, යුක්තිය හෙව්වොත් දරුවෙක් ලෙසම යුක්තිය ලබා ගැනීමට එම රටවල අවස්ථාව තිබෙනවා. නමුත් ලංකාවේ තත්ත්වය ඊට සම්පූර්ණයෙන් වෙනස්, ලංකාවේ අපයෝජනයට ලක් වූ දරුවෙක්ට යුක්තිය ලැබෙන්න දීර්ඝ කාලයක් ගත වෙනවා. පොදුවේ ගත්විට ළමා අපයෝජන නඩුවක් ‘දරුවෙක් ලෙස’ කවදාවත් අවසන් වෙන්නේ නැහැ, ඔහුට හෝ ඇයට යුක්තිය ලැබෙන්නේ නැහැ. ඒ යුක්තියේ ප්‍රමාදයත් එක්ක ඇත්තටම සිදු වෙන්නේ අයුක්තියක්. යම්කිසි දරුවෙක් හෝ දැරියක් වැඩි වියට පැමිණ, වැඩිහිටියන් වූ පසු බොහෝ විට යුක්තිය පිටුපස හඹා යන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ අපරාධකරුවා නිදැල්ලේ පසු වෙනවා. ඒ අපරාධකරුවාට තවත් අපරාධ සිදු කරන්න පුළුවන්. මේ පසුබිම දරුවාගේ අවසාන භාරකාරයා ‘රාජ්‍යය’ කියන සංකල්පය සම්පූර්ණයෙන් පැහැර හැරීමකට ලක් වෙනවා.
- මේ වෙනුවෙන් ඔබේ සංවිධානය රජයෙන් කරන ඉල්ලීම කුමක් ද ?
අපි රජයෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපති කාර්ය සාධන බළකායක් පිහිට විය යුතුයි. ඒකට දේශපාලනයට සම්බන්ධ නොවන පුද්ගලයින්ගෙන් තොර විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් තෝරා ගත යුතුයි. ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී දරුවන් සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. කල්ගත වී ඇති ළමා අපයෝජන නඩු සම්බන්ධව විශේෂ ඒකකයක් පත්කර ඒ නඩු කඩිනම් කරන බවට අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වුණා. ඔහු ඒ පොරොන්දුව ඉටු කළ යුතුයි.
සටහන – භාතිය බරුකන්ද












