ඉහළ මැදි ආදායම් රටක් වීමෙන් ලංකාවට ලැබෙන දේට වඩා අහිමි වන දේ වැඩියි – මහාචාර්ය රොහාන් සමරජීව

පළමුවෙන්ම කියන්න ඕනෑ ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් නම් කළ පළමු අවස්ථාව මෙය නොවන බව. 2018 වර්ෂයේ දීත් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කළා. නමුත් 2022 දී ඇති වූ ආර්ථික අර්බුදය, බංකලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම, ආර්ථික වර්ධනය ඇණ හිටීම, ඒක පුද්ගල ආදායම අඩුවීම ආදි සාධක කිහිපයක් මත ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ තත්ත්වය ‘පහළ මැදි ආදායම් කාණ්ඩයේ’ රටක් දක්වා පහත දැම්මා. ඒ කියන්නේ ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා ඉහළ ආවා, නමුත් ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය නැවත පහළ දැම්මා, නමුත් අවුරුදු තුනකට පසු නැවත ඉහළ දැම්මා.

ඒකේ වරදකුත් නැහැ. මේ ගැන ආඩම්බර වෙන කට්ටියට, සතුටක් ලබා ගන්න කට්ටියට ඒක හොඳයි. එක එක රටවල් වල ඉන්න මගේ යාළුවොත් දැන් ‘උඹලා පහළ මැදි ආදායම් රටක් ද, ඉහළ මැදි ආදායම් රටක් ද ?’ කියලා ඇහුවම ‘අපි ඉහළ මැදි ආදායම් රටක්’ කියලා කියන්න පුළුවන්. ඒක හොඳයි. නමුත් මේ කතාවලින් ලැබෙන දෙයක්, කරන්න පුළුවන් දෙයක් නැහැ. මේවා ‘මෝඩ චූන්’ විදිහට සලකන්න පුළුවන්. අපි පළමුව වටහා ගත යුතුයි ‘ඉහළ මැදි ආදායම් රටවල්’ කියන කාණ්ඩයට රටවල් ගණනාවක් ඇතුළත් වෙනවා. සමහර රටවල් ඉහළට යන්න නොහැකිව මේ කාණ්ඩයේ දශක දෙක තුනක් තිස්සේ ඉන්නවා, උදාහරණයක් ලෙස මැලේසියාව ගන්න පුළුවන්. මැලේසියාව අවුරුදු 25ක් තිස්සේ ඉහළට යා ගන්න නොහැකිව මේ කාණ්ඩයේ ඉන්නවා. අපි මේකට කියනවා ‘ඉහළ මැදි ආදායම් උඟුල’ කියලා.

රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකර සිල්ලර වැඩ වලින් ඉදිරියට යන්න බැහැ. 3%ක ආර්ථික වර්ධනයකට වඩා 4% හොඳයි, 4% ට වඩා 5% හොඳයි කියලා කියන්න පුළුවන්. නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් විදහට වියට්නාමය මේ දවස්වල කතා කරන්නේ 10%ක ආර්ථික වර්ධන ඉලක්කයක් ගැන. වියට්නායමත් අපිත් එක්කම ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වුණා. නමුත් ඔවුන් අපේක්ෂා කරන ආර්ථික වර්ධන වේගය 10%ක් වගේ ඉතාම ඉහළ එකක්. අපි 5%ක් වාගේ පහසු අගයකින් සතුටු වෙන්න යනවා. තවත් උදාහරණයක් ගත්තොත් ඉන්දියාව අපට වඩා පහළින් හිටියත් තමිල්නාඩුව අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. පසුගිය 2025 අවුරුද්දේ තමිල්නාඩුවේ ආර්ථික වර්ධන වේගය 11%ක්. මගේ අදහස නම් මේ 5%ක ආර්ථික වර්ධනය ගැන පම්පෝරි කතා කියලා හරි යන්නේ නැහැ. 5%ක ආර්ථික වර්ධනය කියන්නේ 2022 දී අපි වැටුණ වළෙන් ගොඩ ඒම ගැන සතුටු විය හැකි ඉලක්කමක් පමණයි. නමුත් මේ වළෙන් ගොඩ ආවට මදි, ඊට වඩා ඉදිරියට යා යුතුයි. නමුත් ප්‍රශ්නය තමයි මේ මේ වෙනුවෙන් මොනව ද කරලා තියෙන්නේ ?, මට නම් ඒ ගැන කිසිම දෙයක් පේන්න නැහැ.

දකිනවා, ආණ්ඩුව පැත්තෙන් මම දකින හොඳ දෙයක් තමයි තීරු බදු සැලැස්ම. ඒක පසුගිය පෙබරවාරී මාසේ කැබිනට් එකෙන් අනුමත කළා. නමුත් ඒක ක්‍රියාත්මක වීමට නියමිත 2029 හෝ 2030 දී. මෙවැනි තත්ත්වයක් අපේ අපනයනය සංවර්ධනයට වාසිදායක නැහැ, බාධාකාරීයි. ඒ වගේම ආණ්ඩුව ‘ජාතික අපනයන ක්‍රමෝපාය’ කියලා සැලසුමකුත් අනුමත කර ගෙන තිබෙනවා. ඒවා හොඳ වැඩ. නමුත් ප්‍රශ්නය තමයි මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවීම. මේ ක්‍රමවේදයන් අතර වැදගත්ම එක තමයි ‘පැරා බදු’ කියන එක. මේ පැරා බදු ඉවත් කරලා සමස්ත බදු දැළ 20%කට ගෙන ආ යුතුයි. නමුත් 2024 දී තිබුණේ උපරිම තීරු බදු 15%ක අගයක් කරන්න. මේ ආකාරයෙන් තීරු බදු අඩු කිරීම තුළින් ආණ්ඩුවට ආදායම් අඩු වෙන්න පුළුවන්. නමුත් අපේ අපනයන වලට අවශ්‍ය බොහොමයක් යෙදවුම් ආනයනය කළ යුතුයි. උදාහරණයක් ලෙස උළුඳු කියන ධාන්‍ය වර්ගය පවා ආනයනය කරනවා. ලංකාවේ ප්‍රමුඛ පෙළේ අපනයන සමාගමකට පසුගිය ආර්ථික අර්බුදය කාලේ උළුඳු ආනයනය කළ නොහැකි වීම නිසා ඔවුන්ගේ අපනයන කටයුතු නතර කිරීමට සිදු වුණා. මේ තත්ත්වය තුළ අපි වැදගත් කාරණයක් වටහා ගත යුතුයි. ආනයන වලින් තොරව අපනයන කරන්න බැහැ. අපනයන නොකර ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්න බැහැ. උදාහරණයක් විදිහට වියට්නාමය ගන්න පුළුවන්. ඔවුන් 10%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කර ගෙන ඉන්නේ විශාල වශයෙන් අපනයන ප්‍රවර්ධනය කරලා. නමුත් අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් අපි කරලා නැහැ.

මම යළිත් කියනවා, මේව හොඳයි, නමුත් පැහැදිලි සීමාවන් තිබෙනවා. යළිත් උදාහරණයක් ගත්තොත්, යුද්ධය අවසන් වුණ කාලේ, 2009 සිට රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබුණා. නමුත් ඒ ආර්ථික වර්ධන වේගය ජනතාවට දැනුණේ නැහැ. ඒ ආර්ථික වර්ධනය වේගය ලැබුණේ හම්බන්තොට පැත්තේ කළ දැවැන්ත ඉදිකිරීම්, අධිවේගී මාර්ග, නෙළුම් කුළුණ, පාලම් වැනි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නිසයි. මේ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම දළ දේශීය නිෂ්පාදිතයට එකතු වුණා. නමුත් මේ සංවර්ධන ව්‍යාපෘතිවලින් ජනතාවගේ ඇඟට දැනෙන වර්ධනයක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මම කියන්නේ ජනතාවගේ ඇඟට දැනෙන සංවර්ධනයක් සිදුවිය යුතුයි.

ඔව්, ඒ ගැන මම කියන්න අවශ්‍ය නැහැ, ඒක අපි සියලු දෙනාම දන්න දෙයක්. කොවිඩ් – 19 වසංගතයට කලින් තිබුණ ආර්ථික ශක්තිය බොහෝ දෙනෙකුට තවමත් ලැබිලා නැහැ. මේක තමයි මූලිකම ප්‍රශ්නය. මේවා ජයග්‍රහණ ලෙස සලකන්න අමාරුයි.

චෛතිෂික ප්‍රීතිය නම් තියෙනවා. නමුත් ඒ වාසිවලට වඩා අවාසි නම් වැඩියි.

ලංකාව එක්සත් ජනපදයට පසු වැඩියෙන්ම අපනයන කටයුතු කරන්නේ යුරෝපා සංගමය සමඟ. අපි යුරෝපා සංගමයට අපනයනය කරන්නේ GSP+ තීරු බදු සහනය පාවිච්චි කරලා. ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම් කරලා කෙටි කාලයකින් තීරු බදු සහනය අහිමි වෙනවා. (ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය හෝ අහෝසි කිරීම නොකළහොත් ඊට කලින් මේක අහිමි වීමට ඉඩ තිබෙනවා) නමුත් ඒක නොකළත් අපි ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීමත් එක්ක ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමි වෙනවා. ඒක ක්ෂණිකව සිද්ධ නොවුණත් ක්‍රමිකව සිද්ධ වෙනවා. ඒ වගේම ණය ගැනීමේ දී මේ ඉහළට යාම අපට අවාසි සහගත ලෙස බලපානවා. ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර සංවර්ධන බැංකුව හරහා ඉතාම අඩු පොළියට ණය දෙන ක්‍රමවේදයක් තිබෙනවා, ඒ වගේම ලෝක බැංකුවත් ණය දෙනවා. මම රජය වෙනුවෙන් මේ ආයතන එක්ක ගනුදෙනු කරලා තිබෙනවා. මේ තත්ත්වයක් එක්ක අපිට ජාත්‍යන්තර සංවර්ධන බැංකුව හරහා ණය ගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා, ලෝක බැංකුවේ ඉහළ පොලී ණය ගන්න වෙනවා. මේ වන විටත් අපි ඉහළ පොලියක් ගෙවනවා.  මේ තත්ත්වය නිසා මානසික වාසියක් මිස ආර්ථික වශයෙන් ලංකාවට විශේෂ වාසියක් තිබෙනවා කියලා මට නම් පේන්න නැහැ. ප්‍රීතිය තමයි තියෙන්නේ.

ඒක අපට මෙහෙම බලන්න පුළුවන්. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන විට ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.1%ක් කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින් ප්‍රක්ෂේපණය කරලා තිබුණා. මේක ගැන බරපතළ විවේචන තිබුණා. නමුත් අපි තාම ඉන්නේ 5%ක ආර්ථික වර්ධන වේගයක් ලබමින්නේ. අනුර කුමාර ආණ්ඩුව භාර ගන්න විටත් 5.3%ක පමණ ආර්ථික වර්ධන වේගයක් තිබුණා. මේ වර්ධන වේගය පවත්වා ගෙන යාමේ ගෞරවය වත්මන් ආණ්ඩුවටත් ගන්න පුළුවන්. නමුත් මගේ ප්‍රශ්නය තමයි 5%ක ආර්ථික වර්ධන වේගය ප්‍රමාණවත් ද ?, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ ප්‍රක්ෂේපණ ඉක්මවා ගියා තමයි, නමුත් ඒක ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන් ද ?. මේ ප්‍රක්ෂේපණය දිහා බලන විට ඉදිරි අවුරුදුවල මේක අඩු වෙනවා. ඉරාන – එක්සත් ජනපද අර්බුදය, මේ හරහා කෘෂිකර්මාන්තයට සිදු වන ඍණාත්මක බලපෑම, ඉදිරි එල් නිනෝ තත්ත්වය ආදි සාධක හේතුවෙන් ආර්ථික වර්ධනය අඩු වීමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා. මේ පසුබිම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රක්ෂේපණය කරනවා ඉදිරි අවුරුදු වල අපි 3.1%කට යළි පල්ලම් බහී කියලා.

මේක අපි කවුරුත් බලාපොරොත්තු වුණ තත්ත්වයක්. මගේ දැනුමේ හැටියට සාකච්ඡා මේසයේ දී ඇමෙරිකාව තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගත්තේ නැහැ. සටන් නතර කිරීමේ අවබෝධතා ගිවිසුමේ වගන්ති ඇමෙරිකාව තමන්ගේ තනි මනාපයට වෙනස් කරන්න යනවා. ඉරානය මේක ප්‍රතිචාර දක්වනවා. අමෙරිකාව ගිහින් ඉරානයට යළි යළිත් බෝම්බ දානවා. මේක යළිත් මහා පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය වෙයි කියලා මට පේන්නේ නැහැ. නමුත් මේවා අපට ලොකු ප්‍රශ්නනේ. ඊළඟට මේ නව වාතාවරණය අපට බලපාන්නේ කොහොම ද ?, අපිට තෙල් නැව් ඇවිත්ලා තිබෙනවා ද ?, නැහැ, අපි පෝර වලින් 30%ක් ගන්නේ කටාර් රාජ්‍යයෙන්, යුද්ධය නිසා මිල වැඩි වුණ පෝරවල මිල යළි අඩු වුණා ද ?, නැහැ. හොර්මුස් සමුද්‍ර සන්ධියෙන් පෝර නැව් ආවද ?, නැහැ. එ නැව් වල ගේන පෝර අඩු මිලට ද ගේන්නේ, වැඩි මිලට ද ගේන්නේ ?, වැඩි මිලට. ඉතිං මේ කරුණු අනුව අපට වෙන බලපෑම වැඩියි. අපියි මේ අර්බුදයෙන් තැලෙන්නේ.

අපි හැකි ඉක්මනින් මේ යැපීමෙන් ගැළවෙන්න ඕනෑ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා පසුගිය අවුරුද්ද පුරාම තීරු බදු ගැන කතා කරනවානේ. ඒ තීරු බදු බොහොමයක් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ‘අනීතිකයි’ කියලා අහෝසි කරලා තිබෙනවා. නමුත් මේ බද්ද ඊට වඩා වෙනස්. නමුත් මෙවර ට්‍රම්ප් නිසි ක්‍රමවේදය හරහා ගිහිල්ලා තමයි මේ නියමය කරලා තියෙන්නේ. එක්සත් ජනපද පරිපාලනය කියන්නේ නැහැ ලංකාවේ අපි ළමයින්ගේ ශ්‍රමය පාවිච්චි කරනවා කියලා. ඔවුන් කියන්නේ අපේ නිෂ්පාදනවලට ඇතුළත් වන අමුද්‍රව්‍ය වලට බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමය ඇතුළත් වෙනවා කියලා. මේ හදන්නේ චීනෙට රිද්දවන්න. නමුත් මේ තීන්දුවෙන් තැලෙන්නේ අපි වගේ රටවල්, ඇමෙරිකාව චීනෙට හොඳට සලකනවා. පැහැදිලිවම අපට මේ නව තීන්දුව ප්‍රශ්නයක්. මේක වෙනස් කර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ, ඒකට හේතුව තමයි එක්සත් ජනපද අධිකරණයෙන් මේකට අභියෝග කරන්න අමාරුයි. මේ ප්‍රශ්න හැමදාම එන නිසා අපි එක්සත් ජනපදය මත තබා තිබෙන අපනයන නැඹුරුව සීමා කර ගත යුතුයි. අග්නිදිග ආසියාව, ඉන්දියාව වැනි නව වෙළෙඳපොළ වෙත අපි යා යුතුයි. අපිට එක්සත් ජනපදය වෙනස් කරන්න නොහැකි නිසා අපි වෙනස් විය යුතුයි. ඒ කියන්නේ එක්සත් ජනපදය අපේ ප්‍රධාන අපනයන ගමනාන්තය නොවිය යුතුයි. ඒ සඳහා අපේ අපනයන සහ අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කළ යුතුයි.

අපේ රාජ්‍ය පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස දුර්වල වෙලා, බෙලහීන වෙලා තිබෙන බව අපි පිළිගත යුතුයි. මේ ආණ්ඩුවට පමණක් වේ වගකීම භාර ගන්න බැහැ. මුළු රාජ්‍ය තන්ත්‍රයම කඩා වැටෙමින් තිබෙනවා. විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය, අපි රාජ්‍ය සේවකයින් ලෙස දැක්ක ප්‍රබලතම අමාත්‍යාංශය තමයි මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සෙසු අමාත්‍යාංශ නිලධාරීන්ට වඩා ප්‍රබුද්ධයි, වැඩ දන්නවා කියලා මතයක් ඒ කාලේ තිබුණා. ඊටත් වඩා මහ බැංකුව ගැන ගරුත්වයක් තිබුණා, ඔවුන්ට විශාල වැටුපකුත් ලැබුණා. නමුත් මේ සිද්ධි දිහා බලා ගෙන යන විට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව ක්‍රමිකව දුර්වල වෙමින් තිබෙන බව පේනවා. මේ සිද්ධියේ දී මහ බැංකුවට 100%ක් වගකීමෙන් ගැළවෙන්න බැහැ. 15%කවත් වගකීමක් මහ බැංකුවට තිබෙනවා. මහ බැංකුවත් තමන් වගකිම හරියට කරලා නැහැ. මේ වාර්තාව අනුව මුදල් අමාත්‍යාංශය පැත්තෙන් විශාල අඩුපාඩු තිබෙනවා. ඔවුන් මේ ගැන කළ කිසිම අනතුරු ඇඟවීමක් සැලකිල්ලට ගෙන නැහැ.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website