අගෝස්තු මාසයේ උද්ධමනය 8.0% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගියේය.

මෙයට ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයෙහි උද්ධමනයේ සංඛ්‍යානමය පදනම බලපාන ලදී. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 6.3හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 8.5 දක්වා ඉහළ ගිය අතර, එය මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.8හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 7.7 දක්වා පහළ ගියේය.

2026 අගෝස්තු මාසයේ දී, කො.පා.මි.ද. මාසික පදනම මත උද්ධමනය  සියයට 0.28කින් ඉහළ ගියේය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩය ප්‍රතිශතාංක 0.20කින් දායක වූ අතර, එයට මූලික වශයෙන් කිරිපිටි මිල ඉහළ යාම හේතු විය. එමෙන්ම, ආහාර නොවන කාණ්ඩය මෙම වැඩිවීමට ප්‍රතිශතාංක 0.07ක සුළු දායකත්වයක් ලබා දුන්නේය.

මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 4.4හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 5.1ක් දක්වා ඉහළ ගියේය.

2026 වසරේ ජූලි මාසයේ මුදල් ප්‍රතිපත්ති වාරයේ දී පැවති උද්ධමන පුරෝකථනයන්ට අනුව, මතුපිට උද්ධමනය නුදුරු කාලීනව 5%ක ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඉන් අනතුරුව සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, මැදි කාලීනව යම් පහළ යෑමක් වාර්තා කරමින් උද්ධමන ඉලක්කය වටා ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වයේ බලපෑම් සහ එමගින් ඇතිකරන වක්‍ර බලපෑම් තාවකාලික මෙන්ම ක්‍රමයෙන් පහව යනු ඇතැයි යන උපකල්පනය ඇතුළු අනෙකුත් උපකල්පන මත මෙම පුරෝකථන පදනම් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website