පෝෂණ සංවේදී වටිනාකම් දාම වැඩසටහන යටතේ ගෙවතු වගාව ප්‍රවර්ධනය කෙරේ

SARP ව්‍යාපෘතිය මගින් පෝෂණයෙන් සපිරි ගෙවතු වගාවෙන් පවුල්වල ආහාර සුරක්ෂිතතාවට සහ ආදායමට ශක්තියක්

පවුලක පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, විවිධ පෝෂ්‍යදායී ආහාර වසර පුරා ලබාගැනීමට හැකිවීම ද වැදගත් වේ. ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම තුළින් පවුල්වල ආහාර විවිධත්වය වැඩිදියුණු කිරීමටත්, ගෘහස්ථ පරිභෝජනයෙන් පසු ඉතිරි වන අස්වැන්න අලෙවි කිරීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමටත් අවස්ථාව සැලසේ.

ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ අරමුදලේ (IFAD) සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් පෝෂණ සංවේදී වටිනාකම් දාම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. පෝෂණයෙන් සපිරි ගෙවතු වගා ප්‍රවර්ධනය, පෝෂණ අධ්‍යාපනය, යහපත් ආහාර පුරුදු වර්ධනය සහ අස්වනු පසු නාස්තිය අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.

මෙම තෝරාගත් ප්‍රදේශවල ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමත් නිරෝගිමත් පවුලක් නිර්මාණය කිරීමත් මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු අතර වන අතර පවුලේ පෝෂණය ලබාදීමෙන් පසු වැඩි අස්වැන්න ආදායමක් බවට පත්කරවීම අපේක්ෂීතය.

ගෙවතු වගාව ආරම්භ කිරීම සඳහා එක් ප්‍රතිලාභියෙකුට රුපියල් 15,000ක පමණ වටිනාකමකින් යුත් ආධාර පැකේජයක් ව්‍යාපෘතිය මඟින් ලබා දී ඇත. එයට බීජ, උද්‍යාන පැළ, ග්‍රෝ බෑග් සහ ජල නළ ඇතුළත් වේ. ප්‍රතිලාභීන්ගේ ඉඩම් ප්‍රමාණයට සහ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එළවළු, පලා, පලතුරු සහ කුළුබඩු වර්ග සඳහා අවශ්‍ය බීජ හා පැළ ද ලබාදෙනු ලබයි.

උදාහරණයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, කිඹිස්ස, දීගම්පතහ ප්‍රදේශයේ අනුෂා සඳමාලි මහත්මිය සිය ගෙවත්තේ කාබනික ක්‍රමවේද භාවිත කරමින් වගා කටයුතු සිදු කරයි. ගෙවත්තෙන් ලබාගන්නා අස්වැන්න පවුලේ පරිභෝජනයට යොදාගැනීමෙන් පසු ඉතිරි වන කොටස ආසන්න වෙළෙඳපොළේ අලෙවි කිරීමෙන් ඇය මාසිකව රුපියල් 20,000ක පමණ අමතර ආදායමක් උපයා ගනී. මේ අනුව ගෙවතු වගාව පවුලේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව අමතර ආදායම් මාර්ගයක් ලෙස ද දායක වේ.

ගෙවතු වගා ප්‍රතිලාභීන්ගේ දැනුම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මී මැසි පාලනය පිළිබඳ පුහුණු වැඩසටහනක් ද සංවිධානය කර තිබේ. මෙවැනි පුහුණු සහ දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් මඟින් ගෙවතු වගාවට අදාළ දැනුම හා කුසලතා පුළුල් කර ගැනීමටත්, පවුල්වල පෝෂණ තත්ත්වය සහ ජීවනෝපාය අවස්ථා වැඩිදියුණු කර ගැනීමටත් සහාය සැලසේ.

මෙම වැඩසටහන හරහා දේශීය කෘෂි සම්පත් උපයෝගී කරගනිමින් පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම, ආහාර විවිධත්වය වැඩිදියුණු කිරීම සහ පසු අස්වනු හානි අවම කිරීම අපේක්ෂා කෙරේ. දීගම්පතහ ප්‍රදේශයේ මෙම ගෙවතු වගා අත්දැකීමෙන් පෙනී යන්නේ, අවශ්‍ය බීජ, පැළ සහ උපකරණ සමඟ ප්‍රායෝගික මගපෙන්වීම ලබාදීම තුළින් ගෙවත්තක් පවුලේ පෝෂණයටත් ආර්ථිකයටත් දායක වන සම්පතක් බවට පත් කළ හැකි බවයි.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට කැමති ගොවි මහත්ම මහත්මීන් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා 011 277 0986 දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website