
2028 දී ණය ආපසු ගෙවීම ගැන සාවද්‍ය අදහස් ගණනාවක් තිබෙනවා
2022 වර්ෂයෙන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි පුළුල් අවධානයක් යොමු වූ අතර, එහි දී වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු විය. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ, 2022 දී ‘සියලු ණය ගෙවීම් නතර නොකළ’ බවයි. ද්විපාර්ශ්වික ණය ගෙවීම පමණක් මෙහි දී නතර කරන ලද අතර ස්වෛරීත්ව බැඳුම්කර ණය (ඩොලර් බැඳුම්කර ණය) ගෙවීම ද නතර කිරීමට පියවර ගත්තේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආදි මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය ගෙවීම දිගටම කර ගෙන ගියේය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 දී විදේශ ණය ගෙවීම නතර කිරීමට රජය පියවර ගත්තේය. ඊට පසුව 2023 මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ශ්‍රී ලංකාව එක් විය.
2022 වර්ෂයෙන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි පුළුල් අවධානයක් යොමු වූ අතර, එහි දී වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු විය. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ, 2022 දී ‘සියලු ණය ගෙවීම් නතර නොකළ’ බවයි. ද්විපාර්ශ්වික ණය ගෙවීම පමණක් මෙහි දී නතර කරන ලද අතර ස්වෛරීත්ව බැඳුම්කර ණය (ඩොලර් බැඳුම්කර ණය) ගෙවීම ද නතර කිරීමට පියවර ගත්තේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආදි මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය ගෙවීම දිගටම කර ගෙන ගියේය.
2024 වර්ෂය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුවිය. උදාහරණයක් ලෙස චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය 2024 ඔක්තෝබර් මාසය වන විට අවසන් වන අතර චීනයෙන් ලබාගත ණය වෙනුවෙන් පොළිය ගෙවීම මේ සමඟ ආරම්භ විය.
2024 වර්ෂය අවසන් වන විට ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය ද අවසන් වන අතර, ඒ සමඟ මෙහි පොළිය ගෙවීම ද ආරම්භ විය.
2024 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් නොගෙවා සිටින ලද්දේ ද්විපාර්ශ්වික ණයවල (චීනය, ජපානය හා ඉන්දියාව වැනි රටවලින් ලබාගත්) වාරිකය පමණක් නොගෙවා සිටීමට ශ්‍රී ලංකාව පියවර ගත් අතර ද්විපාර්ශ්වික ණයවල වාරිකය ගෙවීම ආරම්භ වීමට නියමිතව ඇත්තේ 2028 වර්ෂයේ දීය. ඒ අනුව 2028 දී අලුතින් එකතු වන ණය ගෙවීම වන්නේ ද්විපාර්ශ්වික ණය වෙනුවෙන් ගෙවිය යුතු ණය වාරිකය ගෙවීමය.
- වැරදි මතයක්
වර්තමානය වන විට සමාජය තුළ පවතින දුර්මතයක් වන්නේ 2028 දී ණය ගෙවීම ආරම්භ වීමට නියමිත බවය. එය සාවද්‍ය මතයක් වන අතර, 2028 දී අලුතින් එකතු වන ප්‍රමාණය ‘ඉතාම අවම’ ප්රමාණයකි.

මෙහිදී ණය වාරික ගෙවීම ඉහළ යන ආකාරය හඳුනා ගත යුතුය. මෙහි දී රජය විසින් ගෙවන ණය (ප්‍රස්තාර අංක 02), මහ බැංකුව විසින් ගෙවන ණය (ප්‍රස්තාර අංක 03) සහ රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ලබන ණය හඳුනා ගත යුතුය.


ඉහත ප්‍රස්තාර සටහන් නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ 2022 සහ 2023 දී ශ්‍රී ලංකාව විසින් ගෙවා ඇත්තේ ඉතාම අඩු ණය ප්‍රමාණයක් බවයි. එයට හේතුව වන්නේ මෙම කාලය තුළ ශ්‍රී ලංකාව ගෙවා ඇත්තේ බහු පාර්ශ්වීය ණය පමණය. නමුත් 2024 සිට මෙම ණය ගෙවීම් ඉහළ යන අතර 2025 දී එය 3.5%ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 දී එම ප්‍රතිශතය යළි 3.3%ක් සහ 2026 දී 2.8%ක් වන අතර 2028 දී එය යළි 3.5% දක්වා ඉහළ යාමට නියමිතය. මෙහි දී පැහැදිලි වන කරුණ වන්නේ 2025 දී ගෙවන ලද 3.5%ක් වන ණය ප්‍රතිශතයක් 2028 දී ද ගෙවීමට සිදුවන බවයි. මේ තත්ත්වය ‘සාමාන්‍ය’ අගයක් ලෙස සැලකිය හැකි අතර විශාල ප්‍රතිශතයක් එකතු වීමක් සිදු නොවන බව ද ඉහත ප්‍රස්තාර සටහන අනුව පැහැදිලි වේ.
- ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අරමුණ
මෙහි දී වැදගත් කරුණක් පැහැදිලි කරගත යුතුය. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ එක් වැදගත් අරමුණක් වූයේ ගෙවීමට තිබෙන ණය ගෙවීමට කාලයක් ලබා ගැනීම හෙවත් ‘ණය ගෙවීම පස්සට දැමීම’ය. මෙය තවත් පැහැදිලි කරන්නේ නම් 2019,2020 දී බිලියන 05ක් වූ විදේශ ණය ගෙවීමක් 2028 පසු සිදු නොවේ. එය ඊට වඩා සැලකිය යුතු අඩු අගයක් දක්වා පහත වැටී ඇත.
මෙහි තර්කය වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමිකව ස්ථාවර වන තාක් කල්, ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ක්‍රමිකව වර්ධනය වීමය. මෙහි අරමුණ වූයේ විශාල බලපෑමක්, කම්පනයක් ආර්ථිකයට ඇති නොවන ආකාරයට ණය ගෙවීමට අවස්ථාව ලබා ගැනීමය.
- ණය ප්‍රතිව්‍යුහතකරණය කළ ආකාරය
ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ආකාරය පහත අංක 04 ප්‍රස්තාර සටහනේ දැක්වේ.

ඉහත ප්‍රස්තාර සටහන අනුව 2025 දී කල් ඉකුත් වූ බැඳුම්කර වෙනුවෙන් විශාල මුදලක් ගෙවිය යුතු හෙයින් ණය ගෙවීමේ ප්‍රතිශතය සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කර ඇත. ඉහත ප්‍රස්තාර සටහනට අනුව ශ්‍රී ලංකාව විශාල ණය ප්‍රමාණයක් ගෙවිය යුතු වන්නේ 2036න් පසුවය. එහි අදහස වන්නේ කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද ණය ගෙවීමේ දී ඇති වන කම්පනය ආර්ථිකයට ඔරොත්තු දෙන ආකාරයට ප්‍රතිව්‍යුහගත කිරීමට පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි.
පහත දැක්වෙන ප්‍රස්තාර අංක 05 මගින් ඉදිරියේ දී ගෙවීමට සිදුවන බැඳුම්කර ණය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත හැකිය.

ඉහත ප්‍රස්තාර සටහනට අනුව වසර හයකින් කල් පිරෙන බැඳුම්කරයක් වෙනුවෙන් 2030 දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1087ක් ගෙවිය යුතු අතර, 2033 දී වසර 09කින් කල් පිරෙන බැඳුම්කරයක් වෙනුවෙන් ඩොලර් මිලියන 2132ක් ද, ආදි වශයෙන් කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවේ. මේ තත්ත්වය යළි පැහැදිලි කරන්නේ නම් 2030 දක්වා කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු නොවේ.
මෙහි දී වැදගත් කරුණක් ද අවධානයට ගත යුතුය. බොහෝ සාකච්ඡාවල අවධානයට ලක් නොවන කරුණක් වන්නේ Macro Untired Bond ය. මෙහි අදහස වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් තත්ත්වයේ පවතින්නේ නම් ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය වැඩි කළ යුතු බවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසියක් දැමීමය. මෙම ණය දළ ජාතික නිෂ්පාදිතයට සම්බන්ධ කර ඇත. ඒ අනුව රටේ නිෂ්පාදනය ඉහළ යාමට සාපේක්ෂව ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය ඉහළ දැමීමක් මෙමගින් සිදුකෙරේ.
මේ තත්ත්වය හේතුවෙන් ණය ගෙවීමේ දී අලුත් කම්පනයක් සිදුවේ ද ? යන තර්කය මෙහි දී උද්ගත වේ. මෙහි දී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා හොඳින් වර්ධනය වීමය. මේ පසුබිම තුළ වැඩි ණය ප්‍රමාණයක් ගෙවීමට ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම සිදුවේ. මෙය තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, 2024, 2025 සහ 2026 දී ‘ඉතාම හොඳ’ ආර්ථික වර්ධන වේගයකට ශ්‍රී ලංකාව හිමිකම් කියමින් සිටී.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඇති කර ගත් එකඟතාවක් වන්නේ 2024 සිට 2027 දක්වා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ එකතු කළ අගය 11.5%ක් නම් සහ සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 107කට වැඩි නම් ශ්‍රී ලංකාව ‘උපරිම වේගයෙන්’ වර්ධනය වී ඇති රටක් ලෙස සැලකිය හැකි බවයි. ඒ අනුව ලංකාව සිය ණය ද උපරිම වශයෙන් ගෙවිය යුතු බවට එකඟතාවක් තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය දෙස බල විට 2026 දී සහ 2027 දී ද 4%ක පමණ වර්ධනයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි උපකල්පනය කළ හැකි අතර මේ පසුබිම තුළ 2028 දී ‘උපරිම ණය ප්‍රමාණයක්’ ගෙවා දැමීමට ශ්‍රී ලංකාවට සිදුවේ.
මේ පසුබිම තුළ වැඩි ඩොලර් ප්‍රමාණයක් ණය වශයෙන් ගෙවීමට සිදුවීමෙන් යළිත් ශ්‍රී ලංකා ආර්ථිකයට ගැටලුවකට මුහුණ දීමට සිදුවේ ද ? යන ප්‍රශ්න බොහෝ දෙනෙක් තුළ ඇත. මේ සම්බන්ධයෙන් කළ ‘දළ’ ගණනය කිරීමක් පහත දැක්වෙන ප්‍රස්තාර අංක 06හි දැක්වේ.

ඉහත ගණය කිරීම් අනුව පැහැදිලි වන්නේ ‘වැඩි ණය ප්‍රමාණයක්’ ගෙවීමට සිදුවීම හේතුවෙන් විශාල බලපෑමක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු නොවන බවයි. මෙහි සරල අදහස වන්නේ ඩොලර් මිලියන 150ක් හෝ 200ක් වැනි මුදලක් පමණක් අලුතින් එකතු වීමය.
මේ තත්ත්වය තව දුරටත් පහත ප්‍රස්තාර සටහනින් පැහැදිලි කරගත හැකිය.

- විදේශ සංචිත
මෙහි දී ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත වෙත ද අවධානය යොමු කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගන්නා ලද එකඟතාවයේ විදේශ සංචිත සම්බන්ධයෙන් ද සීමා පනවා ඇත.

ඉහත ප්‍රස්තාර සටහනට අනුව මේ වර්ෂයේ ඉදිරි මාස හතර තුළ දළ විදේශ සංචිත ඩොලර් බිලියන 2.8 දක්වා යා යුතුය. මෙහි දී ශ්‍රී ලංකා මහ බැංකුවට වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගෙන මෙම සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ.
නමුත් මෙහි තර්කයක් ද තිබේ. මේ අගය වෙනස් විය හැකිය. ඊට හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇත්තේ ‘ස්ථාවර ඉලක්කයක්’ නොවීමය. මෙය වාර්ෂිකව වෙනස් වන ඉලක්කයක් බව පහත දැක්වෙන ප්‍රස්තාර අංක 07 මගින් වටහා ගත හැකිය.

මෙහි දී ඇති වන අභියෝගාත්මක තත්ත්වය වන්නේ විදේශ සංචිත වර්ධනය කර ගැනීම සහ විදේශ විනිමය අනුපාතය වාසිදායක ලෙස පවත්වා ගෙන යාම එකවර කළ නොහැකි වීමය.
පහත දැක්වෙ ප්‍රස්තාර අංක 07ට අනුව විදේශ විනිමය අනුපාතයේ පැහැදිලි පහළ යාමක් මේ වර්ෂයේ දැකගත හැකි විය.

නමුත් මෙහි ඇති අභියෝගාත්මක තත්ත්වය වන්නේ විදේශ සංචිත වර්ධනය කර ගනිමින්, විනිමය අනුපාතය ස්ථාවරව තබා ගෙන ආර්ථික වර්ධනය ද යහපත් අගයක පවත්වා ගෙන යාමය. මෙවැනි තත්ත්වයක් තුළ විදේශ විනිමය අනුපාතය ඉහළ දැමීමට සහ පොළී අනුපාතය ඉහළ දැමීමට සිදුවීමය. ඒ අතර විනිමය අනුපාතය ද ස්වභාවිකව ඉහළ යාමක් සිදුවන අතර, ආර්ථික වර්ධනය මන්දගාමී වීමක් ද මේ සමඟ සිදුවේ. ආර්ථික වර්ධනය මන්දගාමී වීම පාලනය කළ නොහැකි කාරණයක් බවට පත්වන අතර, විනිමය අනුපාතය දිගින් දිගටම බලහත්කාරයෙන් පාලනය කිරීමට ගියොත් වෙනත් අර්බුද ද නිර්මාණය වීමේ අවදානමක් පවතී.
02 කොටස හෙට
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 288 වැනි කතිකාවේ දී ආර්ථික විශ්ලේෂඛ උමේෂ් මොරමුදලි විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියක.
සටහන – තුෂාල් විතානගේ















