මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ විවාදය අවසන් – අජිත් අමරසිංහ

මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි.

1.     දැනට ඇති ඓතිහාසික සාධක මත ක්‍රි පූ 3 වෙනි සියවසේදී අශෝක අධිරාජයා විසින් ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව පිළිගන්නේද? මේ පිරිසගේ නායක හිමිනමගේ නම මහින්ද යැයිද, ඒ වනවිට ලංකාවේ රජුව සිටියේ දේවානම්පිය (තිස්ස) යැයිද පිළිගන්නේද?

2.     මේ ධර්මදූත පිරිස විසින් එකල ලංකාවේ සිටි ප්‍රධාන රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කල පසු ඉතා කෙටිකලක් තුල ලංකාවේ බුදුදහම පැතිරගිය බව  පිළිගන්නේද?

3.     එනිසා මේ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස පිළිගන්නේද?

එසේම මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන එතුමාගෙන් ප්‍රබුද්ධ සාකච්ඡා සිදුවන මාධ්‍යය වන ලිඛිත මාධ්‍යයෙන් පිළිතුරක් වීමි. විද්‍යාර්ථියෙකුගේ මාධ්‍යය වන ලේඛණගත සම්ප්‍රදාය වෙනුවට යූ ටියුබ් වීඩියෝවකින් පිළිතුරක් එතුමා මාගේ ලිපිපෙලට ලබාදී ඇත. එතුමාගේ ඒ දීර්ඝ දේශනය අසා සිටි මා හට මා එතුමාට යොමුකල නිශ්චිත ප්‍රශ්නවලට කිසිම පිළිතුරක් ලබාදුන් බව නම්  වැටහුනේ නැත. මා  ඇසූ ප්‍රශ්ණ බොහොමයකට එතුමා පවසන්නේ “May be, May be not” වැනි පිළිතුරුය.

මා මහාචාර්ය නිර්මාල් මැතිතුමාගේ මුල් වීඩියෝ දෙකට දීර්ඝ ලිපිපෙලක් ලියුවේ එතුමා හා එතුමා මෙන්ම “මහාවංශය මිත්‍යා ප්‍රබන්ධ කථා පොතකි. එහි ඇති මිත්‍යාවන්ගෙන් සිංහලයන් මුලාවී ඇත” යන මතය දරන ලංකාවේ අතලොස්සකගේ අදහස් වෙනස් කිරීමට නොවේ. මූලාශ්‍ර හා සාධක මත පදනම්ව කෙතරම් කරුණු  ඉදිරිපත් කලත් ඔවුන් තම මතය වෙනස් නොකරන බව මම දනිමි. ඒ නිශ්ඵල කාර්‍යයට මාගේ කාලය වැය කිරීමට මා සූදානම් නැත. මා මාගේ ලිපිපෙල ලියුවේ මහින්දාගමනය සත්‍යයක් යැයි විශ්වාස කරන සුවහසක් දනන්ට එය මිත්‍යාවක් නොවන බවට ඇති ඓතිහාසික සාධක ඉදිරිපත්කර, එතුමාගේ වියවුල් සහගත වීඩියෝ නිසා ඒ විශ්වාසය කඩ නොකරගන්නා ලෙස කීමට පමණි. මා විශ්වාස කරන්නේ මාගේ ශක්ති ප්‍රමාණයෙන් මා ඒ කරුණ ඉටුකල බවයි.

එලෙසින්ම එතුමා ඔහු වීඩියෝවේ ප්‍රදර්ශනය කරන පොත් මා කියවා නැති බවට පූර්ව නිගමනයකට එලඹ ඇත. මා එතුමා ලියූ පොත ඇතුළු බොහෝ පොත්වල පිටකවර පමණක් නොව, අන්තර්ගතයන්ද කියවා ඇත. එතුමා ලියූ පොතේ නම් මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු නැත. එසේම එතුමාගේ තම වීඩියෝවේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන තමන් මෙන් ඉතිහාසඥයෙක් වැනි නොවේ යැයි වැනි  අභීත ප්‍රකාශ රැසක් කරයි.  

එතුමාගේ පොත කියවා තිබූ මා හට, පැයකට අධික කාලයක් තිස්සේ දිගහැරෙන අවසාන වීඩියෝව බැලූ විට විහිළු කථාවක් සිහියට නැගිනි. එය මෙසේය. “ලෝක පූජිත චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝගේ නිවසට හොරෙක් පැන චිත්‍රයක් හොරකම් කලේය. පිකාසෝ පැන යන හොරාගේ මුහුණ දිටීය. පිකාසෝ හමුවට පැමිණි පොලිස් නිලධාරීන් ඔහුගෙන් හොරාගේ මුහුණ අඳින ලෙස ඉල්ලීය. පිකාසෝ හොරාගේ මුහුණ ඇඳීය. පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට පිකාසෝගේ මේ චිත්‍රය පෙන්වා හොරා අල්ලාගන්නා ලෙස නියෝග කෙරිණි. එක නිලධාරියෙක් පිරිමියෙකු අල්ලාගෙන ආ අතර අනෙකා ගැහැණියක අල්ලාගෙන ආවේය. තුන්වැන්නා බල්ලෙකු අත් අඩංගුවට ගත් අතර හතරවෙනි නිලධාරියාගේ මතය වූයේ චිත්‍ර සොරකමක් සිදුනොවූ  බවයි.”

පිකාසෝගේ චිත්‍ර ගැන දන්නා අයට මේ විහිළුව තේරුම් යනු ඇත. ඒ චිත්‍රයකින් යමෙකු හඳුනාගැනීම තැතනීම උමතුවකි. මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ පොත්ද, වීඩියෝද එලෙසය. එතුමා ඒවායේ යමක් කියයි, ලියයි. ඒවායේ පවසන්නේ කුමක්දැයි තේරුම් ගන්නට උත්සාහ කරන අයට සිදුවන්නේ පිකාසෝ ඇඳි චිත්‍රයෙන් හොරා අල්ලාගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට වූ වින්නැහියයි. එතුමාගේ වීඩියෝ අසන්නෝ ඒවායේ එතුමා පවසන දේ තම තමන්ට වැටහෙන අයුරින් තේරුම් ගනිති.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ පිළිතුරේ මා ඇසූ නිශ්චිත ප්‍රශ්න වලට පිළිතුරු නැත්තේ, මා හට එතුමා ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නත්, මා හට ඒ බව නොවැටුහුණු නිසා වන්නට ඇත.

එසේම මා සිතන්නේ මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමා මූලාශ්‍ර, සාධක  මත නිගමනයන්ට එලඹිය යුතු ඉතිහාසය වැනි විෂයයකින් ඉවත්ව ස්වයංභූ ඥාණයෙන් (තම සිත තුලින් පමණක්ම පැනනගින මතයන්ගෙන්) මත ප්‍රකාශ කිරීමේ නිරතවුවහොත්, එතුමාට කෙටි කලක් තුල දාර්ශනිකයෙකු විය හැකි බවයි. තමන්ම නිකුත් කරන වීඩියෝ නරඹමින් ස්වයං වින්දනයක් ලබනවාට වඩා, එතුමාගේත්, ලාංකික ඉතිහාස අධ්‍යයනයේත්,  රටේත් යහපතට හේතුවනු ඇති ඒ යෝජනාව කරමින්, මම මේ විවාදය සුහදව අවසන් කරමි. 

| අජිත් අමරසිංහ  <amarasinghe_ajith@yahoo.com>

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර  ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය   2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උළලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website