පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිත්‍ය සේවයට අයත් සියලුම නිලදරන්නන් වෙත සේවා පදක්කම් සහ සේවාභිමානී පදක්කම් ප්‍රදානය කරයි

පොලිස් නිලධරයන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන් 2026.06.22 වන දින නිකුත් වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය 2494/04 – 2026 පත්‍රය පරිශීලනය කර මෙම පදක්කම් පැළදිය යුතු ආකාරය ඇතුළු සවිස්තර කරුණු පිළිබඳව දැනුවත් වන්න.

සේවා පදක්කම – ශ්‍රී ලංකා පොලීසිය

පපුවේ වම් පස පැළඳිය යුතුය.

පැළඳීමේ අනුපිළිවෙල – ප්‍රසාධන සැරසුම් හා පදක්කම් පැළඳිය යුතු අනුපිළිවෙල දැක්වෙන පොලිස් නියෝග බී 4 හා තත්කාලීනව ඊට අදාළව පොලිස් ගැසට්‌ පත්‍ර IIහි නිවේදනය මඟින් සිදු කරනු ලබන සංශෝධන අනුව සේවාභිමානි පදක්කමට ඉක්බිතිව සේවා පදක්කම පැළඳිය යුතු යයි නියම කරනු ලැබේ.

පැළඳීම සඳහා සුදුසුකම් –

1. 2009.05.19 දින සිට පශ්චාත් යුධ ක්‍රියාකාරකම් සඳහා දායක වූ, 2009.05.18 වන දින හෝ ඊට පෙර සේවයෙන් විශ්‍රාම ගොස් ඇති ශ්‍රී ලංකා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් හැර, 2009.05.19 වන දා වන විට සක්‍රීය සේවයේ යෙදී සිටි සහ ඉන් පසු සේවයට එක් වූ ශ්‍රී ලංකා පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිත්‍ය සේවයට අයත් වූ නිලධරයන් ද, මූලික පුහුණුව පාඨමාලාව හැර වසර තුනක ගණනීය සේවා කාලයක් සපුරන්නා වූ ද, හැසිරීම හා පැවැත්ම පිළිබඳ සෑහීමකට පත්වන්නා වූ ද, කවර නිලයකට අයත් කෙනෙකු වුව ද මෙම සේවා පදක්කම ලැබීමට සුදුස්සෝ වෙති.

2. 2009.05.19 වන දා සිට සේවා කාලය වසර තුනක් සම්පූර්ණ කිරීමට පෙර විශ්‍රාමලත්, සේවයෙන් පහ කරන ලද හෝ සේවයෙන් ඉල්ලා අස් වූ අයවළුන් මෙම පදක්කම සඳහා හිමිකම් නොලබන්නේය.

3. මියගිය තැනැත්තෙකු වෙනුවෙන් කෙරෙන ප්‍රදානය, ප්‍රදාන ලාභියාගේ නීත්‍යානුකූල ළඟම ඥාතියා විසින් හෝ එම ළඟම ඥාතියා විසින් නම් කරනු ලබන තැනැත්තෙකු විසින් භාරගනු ලැබිය හැකි ය.

පදක්කම අහිමිකිරීමේදී සලකනු ලබන කරුණු –

  • පදක්කම පිරිනමනු ලැබ සිටින අයෙකු අධිකරණ තීන්දුවක් අනුව මරණ දණ්ඩනයකට යටත් වුව හොත් එවිට, ජනාධිපතිතුමා විසින් මීට වෙනස් අන්දමක නියෝගයක් නොකරනු ලැබුවහොත් එම පදක්කම ඔහුට අහිමි වේ.
  • පොලිස් සේවාවෙන් නෙරපා හරිනු ලබන සහ පහ කරනු ලබන හෝ පොලිස් සේවාවෙන් විශ්‍රාම ගැනීමට නියම කරනු ලැබූ සෑම අයෙකුටම, ජනාධිපතිතුමා විසින් මීට වෙනස් ආකාරයක නියෝගයක් නොකරනතාක් ඔහු වෙත ප්‍රදානය කරනු ලැබ ඇති පදක්කම අහිමි වේ.
  • නින්දා සහගතව නොහොත් අපකීර්ති සහගතව ශ්‍රී ලංකා පොලිස් සේවාවෙන් අස්කරනු ලබන සෑම අයෙකුටම මීට වෙනස් ආකාරයක නියෝගයක් කරනතාක් ඔහු වෙත ප්‍රදානය කරන ලද පදක්කම අහිමි වේ.
  • පදක්කම ප්‍රදානය කරනු ලැබ සිටින තැනැත්තෙක්, රාජ්‍ය ද්‍රෝහිකම, රාජ්‍ය භේදය කැරලි ගැසීම, බියසුළුකම, සේවය අතහැර යාම හෝ අස්වා‍භාවික අන්දමේ නින්දනීය හැසිරීම් වැනි වරදකට වරදකරු වූයේ නම්, හෝ විෂම චාරය නිසා සේවයෙන් පහ කරනු හෝ අස්කරනු ලැබුවේ නම් හෝ අපරාධමය වරදකට යම් අධිකරණයක් විසින් වරදකරුවෙකු කරනු ලැබුවේ නම්, එවිට ජනාධිපතිතුමා විසින් මීට වෙනස් ආකාරයක නියෝගයක් නොකරනතාක්, ඔහුට ප්‍රදානය කරන ලද පදක්කම අහිමි වේ.

• කුඩා අනුරූප – පදක්කම්ලාභීන් විසින් ඇතැම් අවස්ථාවන්හි දී පළඳිනු ලබන්නා වූ ද, කුඩා ප්‍රමාණයේ පදක්කම් යනුවෙන් හැඳින් වෙන්නා වූ ද, කුඩා ප්‍රමාණයේ පදක්කමේ ප්‍රමාණය, ප්‍රදානය කර ඇති පදක්කමේ ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් අර්ධයක් තරම් විය යුතු අතර, එම කුඩා අනුරූපයේ මුද්‍රා තැබූ ආදර්ශකයක්, පොලිස් මූලස්ථානයේ තැන්පත් කර තැබීමට නියමිතය.

අහිමි කිරීම හා නැවත ලබාදීම –

• මෙහි මින් මතු පනවනු ලබන රෙගුලාසි යටතේ, යම්කිසි පුද්ගලයෙකු වෙත ප්‍රදානය කර ඇති පදක්කමක් අවලංගු කොට නිෂ්ප්‍රභ කිරීමේ බලය සහ අහිමි කෙරෙන ප්‍රදානයක් පෙරළා හිමිකර දීමේ බලය ජනාධිපතිතුමා සතුය. පළමුව ලබාදීමේදී මෙන්ම අවලංගු කෙරෙන හෝ පෙරළා හිමිකර දෙන සෑම අවස්ථාවක දී ම එම නිවේදනය පොලිස් ගැසට්‌ පත්‍ර IIහි පළ කරයි.

පදක්කම අස්ථාන ගතවූ විට –

යම් පොලිස් නිලධරයෙකු තමා අතින් නැති වූ පදක්කම වෙනුවට නව පදක්කමක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එවිට එම නිලධරයා විසින් එම නැතිවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කළ යුතු ය. එය නැති වූයේ කවර තත්ත්වයක් යටතේ ද යන්න ගැන සාම විනිසුරුවරයෙකු විසින් සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක්, පොලීසියට කරන ලද පැමිණිල්ලේ පිටපතක් සමඟ සිය කොට්ඨාස භාර නිලධාරියා මාර්ගයෙන් රේඛීය ක්‍රම වේදය ඔස්සේ පොලිස්පති වෙත ඉදිරිපත් කළ යුතු ය.

නැති වීම සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු සතුටුදායක බව පිළිගනු ලැබුව හොත්, නැති වූ පදක්කම වෙනුවට නව පදක්කමක් මුදල් ගෙවූ විට ලබා දෙනු ලැබේ

සේවාභිමානී පදක්කම – ශ්‍රී ලංකා පොලීසිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු ජනාධිපති, සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිත්‍ය සේවයට අයත් සියලුම නිල දරන්නන් වෙත උපහාර වශයෙන් සේවාභිමානි නම් පදක්කම ප්‍රදානය කර ඇත.

පුවේ වම් පස පැළඳිය යුතුය.

පැළඳීමේ අනුපිළිවෙල :- ප්‍රසාධන සැරසුම් හා පදක්කම් පැළඳිය යුතු අනුපිළිවෙල දැක්වෙන පොලිස් නියෝග බී 4 හා තත්කාලීනව ඊට අදාළව පොලිස් ගැසට්‌ පත්‍ර IIහි සිදු කරනු ලබන සංශෝධන අනුව පනස්වැනි නිදහස් සංවත්සර සමරු පදක්කම හා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා පදක්කමට ඉක්බිතිව සේවාභිමානී පදක්කම පැළඳිය යුතු යැයි නියම කරනු ලැබේ.

පැළදීම සඳහා සුදුසුකම් –

1. 2009.05.19 වන දින සිට පශ්චාත් යුධ ක්‍රියාකාරකම් සඳහා දායක වූ, 2009.05.18 දින හෝ ඊට පෙර සේවයෙන් විශ්‍රාම ගොස් ඇති ශ්‍රී ලංකා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් හැර, 2009.05.19 වන දා වන විට සක්‍රීය සේවයේ යෙදී සිටි සහ ඉන් පසු සේවයට එක් වූ ශ්‍රී ලංකා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිත්‍ය සේවයට අයත් වූ නිලධරයන් ද, මූලික පුහුණුව පාඨමාලාව හැර වසර හයක ගණනීය සේවා කාලයක් සපුරන්නා වූ ද, හැසිරීම හා පැවැත්ම පිළිබඳ සෑහීමකට පත් වන්නා වූ ද, කවර නිලයකට අයත් කෙනෙකු වුවද සේවාභිමානී පදක්කම ලැබීමට සුදුසු වන්නේය.

2. 2009.05.19 වන දා සිට සේවා කාලය වසර හයක් සම්පූර්ණ කිරීමට පෙර විශ්‍රාමලත්, සේවයෙන් පහ කරන ලද හෝ සේවයෙන් ඉල්ලා අස් වූ අයවළුන් මෙම පදක්කම සඳහා හිමිකම් නොලබන්නේය.

3. මියගිය තැනැත්තෙකු වෙනුවෙන් කෙරෙන ප්‍රදානය, ප්‍රදාන ලාභියාගේ නීත්‍යානුකූල ළඟම ඥාතියා විසින් හෝ එම ළඟම ඥාතියා විසින් නම් කරනු ලබන තැනැත්තෙකු විසින් භාර ගනු ලැබිය හැකිය.

පදක්කම අහිමිකිරීමේදී සලකනු ලබන කරුණු –

4. පදක්කම පිරිනමනු ලැබ සිටින අයෙකු අධිකරණ තීන්දුවක් අනුව මරණ දණ්ඩනයකට යටත් වුවහොත් එවිට, ජනාධිපතිතුමා විසින් මීට වෙනස් අන්දමක නියෝගයක් නොකරනු ලැබුවහොත් එම පදක්කම ඔහුට අහිමි වේ.

5. පොලිස් සේවාවෙන් නෙරපා හරිනු ලබන සහ පහ කරනු ලබන හෝ පොලිස් සේවාවෙන් විශ්‍රාම ගැනීමට නියම කරනු ලැබූ සෑම අයෙකුටම, ජනාධිපතිතුමා විසින් මීට වෙනස් ආකාරයක නියෝගයක් නොකරනතාක් ඔහු වෙත ප්‍රදානය කරනු ලැබ ඇති පදක්කම අහිමි වේ.

6. නින්දා සහගතව නොහොත් අපකීර්ති සහගතව ශ්‍රී ලංකා පොලිස් සේවාවෙන් අස්කරනු ලබන සෑම අයෙකුටම මීට වෙනස් ආකාරයක නියෝගයක් කරනතාක් ඔහු වෙත ප්‍රදානය කරන ලද පදක්කම අහිමි වේ.

7. පදක්කම ප්‍රදානය කරනු ලැබ සිටින තැනැත්තෙක්, රාජ්‍ය ද්‍රෝහිකම, රාජ්‍ය භේදය, කැරලි ගැසීම, බියසුළුකම, සේවය අතහැර යාම හෝ අස්වා‍භාවික අන්දමේ නින්දනීය හැසිරීම් වැනි වරදකට වරදකරු වූයේ නම්, හෝ විෂමාචාරය නිසා සේවයෙන් පහ කරනු හෝ අස්කරනු ලැබුවේ නම් හෝ අපරාධමය වරදකට යම් අධිකරණයක් විසින් වරදකරුවෙකු කරනු ලැබුවේ නම්, එවිට ජනාධිපතිතුමා විසින් මීට වෙනස් ආකාරයක නියෝගයක් නොකරනතාක්, ඔහුට ප්‍රදානය කරන ලද පදක්කම අහිමි වේ.

• කුඩා අනුරූප – පදක්කම්ලාභීන් විසින් ඇතැම් අවස්ථාවන්හි දී පළඳිනු ලබන්නා වූ ද, කුඩා ප්‍රමාණයේ පදක්කම් යනුවෙන් හැඳින් වෙන්නා වූ ද, කුඩා ප්‍රමාණයේ පදක්කමේ ප්‍රමාණය, ප්‍රදානය කර ඇති පදක්කමේ ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් අර්ධයක් තරම් විය යුතු අතර, එම කුඩා අනුරූපයේ මුද්‍රා තැබූ ආදර්ශකයක්, පොලිස් මූලස්ථානයේ තැන්පත් කර තැබීමට නියමිතය.

පදක්කම අස්ථාන ගතවූ විට –

• යම් පොලිස් නිලධරයෙකු තමා අතින් නැති වූ පදක්කම වෙනුවට නව පදක්කමක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එවිට එම නිලධරයා විසින් එම නැතිවීම පිළිබඳව පොලීසියට පැමිණිලි කළ යුතු ය. එය නැතිවූයේ කවර තත්ත්වයක් යටතේ ද යන්න ගැන සාම විනිසුරුවරයෙකු විසින් සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක්, පොලීසියට කරන ලද පැමිණිල්ලේ පිටපතක් සමඟ සිය කොට්ඨාසභාර නිලධාරියා මාර්ගයෙන් රේඛීය ක්‍රම වේදය ඔස්සේ පොලිස්පති වෙත ඉදිරිපත් කළ යුතු ය. නැති වීම සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු සතුටුදායක බව පිළිගනු ලැබුව හොත්, නැති වූ පදක්කම වෙනුවට නව පදක්කමක් මුදල් ගෙවූ විට ලබා දෙනු ලැබේ.

අහිමි කිරීම හා නැවත ලබාදීම –

8. මෙහි මින් මතු පනවනු ලබන රෙගුලාසි යටතේ, යම්කිසි පුද්ගලයෙකු වෙත ප්‍රදානය කරනු ලැබ ඇති පදක්කමක් අවලංගු කර නිෂ්ප්‍රභා කිරීමට ජනාධිපතිතුමාට හැකි බවට ද, නමුත් එසේ අහිමි කරනු ලැබූ ප්‍රදානයක් යළිත් වලංගු කර ලබාදීමට ද, එතුමාට නීත්‍යානුකූලව බලය ඇති බවට ද, නියම කරනු ලැබේ. පළමුව ලබාදීමේදී මෙන්ම අවලංගු කිරීමේ හෝ යළිත් ලබාදීමේ නිවේදනය සෑම අවස්ථාවකදීම අදාළ පොලිස් ගැසට් පත්‍ර IIහි පළ කළ යුත්තේ ය.

උපුටා ගැනීම -https://www.facebook.com/srilankapoliceofficial/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website