ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ අතර ඒ අනුව මෙම පහරදීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල මූලස්ථාන පොලිසිය වෙත වාර්තා වී ඇති දේපළ සොරකමක් සම්බන්ධයෙන් බෙරලපනාතර, දංදෙණියකන්ද පදිංචි 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 2026 ජූනි 03 දින ගාල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, දැනට බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමිනි සිටී.
මෙම 16 හැවිරිදි සැකකරුට අදාළ සොරකම සම්බන්ධයෙන් පැමිණිලි කළ පාර්ශවය විසින්ම අමානුෂික ලෙස පහර දී ඇති බවට, ඔහුගේ මව විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් සහ සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝ දර්ශන පාදක කරගනිමින් ක්‍රියාත්මක වූ ගාල්ල මූලස්ථාන පොලිසිය මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා 2026 ජූනි 03 දින අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, මිලිද්දුව, ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් වන වයස අවුරුදු 40 වන සොරකම පිළිබඳ මුල් පැමිණිලිකාරිය, වයස අවුරුදු 47ක් වන පැමිණිලිකාරියගේ සැමියා, වයස අවුරුදු 17 වන දියණිය සහ වයස අවුරුදු 19 වන පුතාවේ.
පහරදීමට සම්බන්ධ මෙම සැකකරුවන් සිව්දෙනා අද (2026.06.04) දින ගාල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම දේපළ සොරකම මෙන්ම එම සැකකරුට සිදුකළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් ද ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කරමින් පවතී.














