ජාත්යන්තර පොලිස් සංගමයේ 69 වන ලෝක සමුළුව සහ 2026 මිත්රත්ව සතිය අද (20) දින සිට 31 වැනි දා දක්වා ශ්රී ලංකාවේ කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්රී ලංකා පොලිසිය නිකුත් කළ මාධ්ය නිවේදනයක සඳහන් වේ.
ආසියානු කලාපයේ ප්රථම වරට ජාත්යන්තර පොලිස් සංගම් ලෝක සමුළුවක් පැවැත්වෙන සුවිශේෂී අවස්ථාව මෙය බවට ඉතිහාස ගතවනු ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මෙම ජාත්යන්තර සමුළුව සඳහා රටවල් 69ක් නියෝජනය කරමින් නියෝජිතයන් 450කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත අතර, ජාත්යන්තර පොලිස් සංගමයේ ජාතික අංශවල සභාපතිවරුන් සහ මහලේකම්වරුන් ඇතුළු ලොව පුරා සිටින එම සංගම් වල සම්භාවනීය සාමාජිකයෝ ද ඒ අතර වෙති.
මෙම සමුළුව ජාත්යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, වෘත්තීය සබඳතා වර්ධනය කිරීමටත්, ලොව පුරා පොලිස් නිලධාරීන් අතර දිගුකාලීන මිත්රත්වය තහවුරු කිරීමටත් වැදගත් අවස්ථාවක් වනු ඇත.
මෙම වැඩසටහනට නිල උත්සව, සමුළු සැසිවාර සහ සංස්කෘතික චාරිකා ඇතුළු විවිධ අංග රැසක් ඇතුළත් වේ. ඒ තුළින් සහභාගී වන නියෝජිතයන්ට ශ්රී ලංකාවේ අභිමානවත් උරුමය, සංස්කෘතික විවිධත්වය සහ ලොව පුරා ප්රකට ශ්රි ලංකාවට අනන්යවු ආගන්තුක සත්කාරය අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇත. එමෙන්ම, සහභාගී වන රටවල් අතර අන්යෝන්ය අවබෝධය, මිත්රත්වය සහ සුහදතාව වර්ධනය කිරීමට ද මෙම වැඩසටහන තුලින් හැකිවනු ඇත.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ පොලිස්පති, නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාද, සත්කාරක රට නියෝජනය කරමින් 69 වන ජාත්යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව 2026 අමතා දේශනයක් පැවැත්වීමට නියමිතය.
මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ලොව පුරා සිටින ජාත්යන්ර පොලිස් සංගම් නියෝජිතයන් ශ්රී ලංකාවට මහත් ගෞරවයෙන් පිළිගෙන ශ්රී ලංකාවේ අනන්ය සංස්කෘතිය හා උරුමය ජාත්යන්තරයට හඳුන්වා දෙමින් ජාත්යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, ජාතීන් අතර මිත්රත්වය, සුහදතාව සහ අන්යෝන්ය අවබෝධය වැඩිදියුණු කිරීමටත් බලාපොරොත්තු වේ.
ජාත්යන්තර පොලිස් සංගමය (International Police Association – IPA) යනු ලොව විශාලතම ජාත්යන්තර පොලිස් සංවිධානය වන අතර, රටවල් 69 ක් එහි සාමාජිකත්වය ලබාගෙන ඇත. 1950 වර්ෂයේදී මහා බ්රිතාන්යයේදී ආරම්භ කරන ලද මෙම සංගමයේ මේ වන විට එහි සාමාජිකයන් 600,000 ඉක්මවා ඇත.
















