වත්මන් ආණ්ඩුව රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරවීම සඳහා බලකරන අතර මර්දනයට එරෙහිව සටන් කරන බවත් ජනතාව වෙනුවෙන් අවංකවම පෙනී සිටින දේශපාලන පක්ෂ සියල්ල එළඹෙන 21දා නුගේගොඩට පැමිණෙනු ඇතැයි විශ්වාසය කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
21 වැනි රැළිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසුවේය, “සුන්බුන් එකතු කරලා හැදුවා කිවුවා. පාපිසි පාර්ලිමේන්තුවට ආවා කියලා ජනාධිපතිතුමා කිවුවා. නමුත් අපේ දේශපාලන බලවේගය තුළ සුන්බුන් සහ පාපිසි කෑලි නැහැ. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ජනතාවට ලබාදුන් පොරොන්දු ටික ඉටුකර ගන්න ආණ්ඩුවට නොහැකි වෙනකොට ඒක වෙනුවෙන් කතා කරන විපක්ෂය මර්දනය කරන්න කටයුතු කරනවා. ඒ මර්දනයට කෙඳිරි ගාන්නේ නැතිකොට ආණ්ඩුව කෙඳිරි ගානවා. දැන් ආණ්ඩුව කෙඳිරි ගාන්න පටන්ගෙන තිබෙනවා. ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න, ආණ්ඩුවේ මර්දනයට සහ බොරුවට එරෙහිව පෙනී සිටින්න, ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරවීම සඳහා බලපෑමක් කරන්න සූදානම් ඕනෑම දේශපාලන පක්ෂයකට සහ කණ්ඩායමකට එළඹෙන 21 දා නුගේගොඩ දී පැවැත්වෙන රැස්වීමට සහභාගි වෙන්න පුළුවන්“














