SriLankan ගුවන් සේවයට එයාර්බස් මිල දී ගැනීමේදී අල්ලස් ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ මහතා දෙසැම්බර් මස 02 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (නොවැ: 19) නියෝග කළේ ය.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කරනු ලැබ තිබූ අධිචෝදනා පත්‍ර භාර දීම ද අද සිදුවිය.
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය දැන් අවසන් වී ඇති හෙයින් ඔහුගේ නිදහස තවදුරටත් සීමා කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ දූෂණ විරෝධී පනත යටතේ බව සඳහන් කළේය.
දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර ඇති විට නඩු විභාගය අවසන් වන තුරු විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සැකකරුට ඇප ප්රදානය කළ හැක්කේ විශේෂ අවස්ථානුගත කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණක් බවත් අධිකරණය හමුවේ වැඩි දුරටත් සඳහන් කළේ ය.
මෙම අවස්ථාව වන විට මෙම විත්තිකරුට ඇප ලබා ගැනීම සඳහා විශේෂ අවස්ථානුගත කරුණු ඉදිරිපත් වී නොමැති නිසා විත්තිකරු රිමාන්ඞ් භාරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් අධිකරණයට නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
මෙම අවස්ථාවේ ඇප පනත අදාළ නොවන බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා ඒ අනුව මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු ඉදිරිපත් වීමක් සිදුවී නොමැති හෙයින් විත්තිකරුගේ නිදහස සීමා නොකරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය.
















