ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වුණේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ කාර්යයන්හි වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ඉදිරි කාලසීමාව තුළ එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි අභියෝග හඳුනාගෙන ඒවා ජය ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී ඩිජිටල් කාර්ය සාධක බලකාය (Digital Task Force) විසින් පාසල් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සහ ඩිජිටල් ඉගෙනුම් මෙවලම් හඳුන්වාදීම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.
එමෙන්ම, ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) ක්‍රියාත්මක කිරීමේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.
නව විෂයමාලා සංවර්ධනය (Curriculum Development) යටතේ යෝජිත විෂයමාලා ව්‍යුහය, විෂය අන්තර්ගතයන් යාවත්කාලීන කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි. ඊට අමතරව, ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රමවේද, අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ සහ පාසල් යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ ප්‍රගති සමාලෝචනය ද සිදු කෙරිණි .
මානව සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන නිලධාරීන්ගේ වෘත්තීය ධාරිතාව වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් සහ ඉදිරි පුහුණු අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ක්‍රියාත්මක සන්නිවේදන හා ප්‍රවර්ධන වැඩසටහන්හි ප්‍රගතිය ද සාකච්ඡා කෙරිණි.
ඒ යටතේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි හා විධිමත් තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති ‘RIES’ (Reform Information and Equity Service) වෙබ් අඩවිය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමු විය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් නව ව්‍යුහාත්මක හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළ ද්විභාෂා අධ්‍යාපන ක්‍රමවේදය (Bilingual Education) තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, එම අධ්‍යයන අවස්ථා වඩාත් විධිමත්ව සමාලෝචනය කළ යුතු බව ද ප්‍රකාශ කළාය.
එමෙන්ම, ජාතික අධ්‍යාපන ආයතනයේ ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ උපාධි පිරිනමන ආයතන බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාව සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල,අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න,අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ඕ. ජී. දයාරත්න බණ්ඩා යන මහත්වරුන් සහ අමාත්‍යාංශයීය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.















