ඊයේ (03) රාත්‍රී කාලයේ පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීම සඳහා සූදානම් වෙමින් සිටි සැකකරුවන් පිරිසක් කොස්ගොඩ පොලිස් වසමේ අකාඩෙගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල නිවස වටලා ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් දුටු එක් සැකකරුවෙකු පොලිසිය දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇත. එහිදි පොලිසිය එල්ල කල ප්රථිප්රහාරයකින් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර එහි සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවත් සැකකරුවෙකු සිද්ධියෙන් පසු පලාගොස් ඇත. එම නිවස පරික්ෂා කිරීමේදී
- 9mm වර්ගයේ පිස්තෝල අවියක්
- එම පතරොම් 08ක් සහිත මැගසිනයක්
- රිවෝලවර අවියක් හා එම පතරොම් 06ක්,
- 9mm මැගසිනයක් හා පතරොම් 06
- විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක්
- අපරාධයක් සිදු කිරීම සඳහා යාමට සූදානම් කර තිබූ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක්
- ත්‍රීරෝද රථයක්
පොලිස් භාරයට ගෙන ඇති අතර තුවාල ලැබූ සැකකරු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 33 වයස්වල පසුවන මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු හා දේපල කොස්ගොඩ පොලිසියට ඉදිරිපත් කර ඇති අතර කොස්ගොඩ පොලිසිය හා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















